ශ්‍රී ලංකාවේ විශාලතම ගොතන රෙදි පිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝ පිළිගත් Bluesign® ක්‍රමවේදය කරා ළඟාවීමේ ගෞරවය පසුගියදා දිනාගනු ලැබීය. Bluesign® යනු, ලොව කර්මාන්ත හා සන්නාම වෙත පරිසර හිතකාමි නිෂ්පාදන ක්‍රියාවලියක් කරා ළඟා වීම සඳහා විසඳුම් සපයන ස්විස් ක්රමවේදයකි. අඛණ්ඩ පරිසර හිතකාමී ක්‍රමවේදයකට තම ආයතනය එක් කරමින් Bluesign® ක්‍රම වේදය හා සම්බන්ධ වුණු ශ්‍රී ලංකාවේ පළමු රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදකයා වන්නේ ඕෂන් ලංකා පුද්ගලික සමාගමයි.
ඕෂන් ලංකා පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ඉකුත්දා හිමිවුණු Bluesign® විස්තරාත්මක ඇගයුම තහවුරු කරන්නේ, පාරිසරික ක්‍රමවේද, යහපැවැත්ම මෙන්ම, රසායනික ද්‍රව්‍ය හා අනතුරුදායක ද්‍රව්‍ය වගකීම් සහගත ලෙස භාවිත කිරීම වැනි කාරණා අතින් සමාගම, ඉහළ පරිසර හිතකාමී ඉලක්ක සපුරාලමින් නිෂ්පාදන කාර්යයේ නිරත වන බවයි. Bluesign® ක්‍රමවේදයේ හවුල්කරුවකු ලෙසින් ඕෂන් ලංකා පුද්ගලික සමාගම, නිෂ්පාදන ක්‍රියාවලියේදී මිනිසාට සහ පරිසරයට සිදුවන හානි අවම කිරීමට බැඳී සිටියි.
“රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්රය තුළ bluesign® ක්‍රමවේදය කරා ළඟා වුණු මුල්ම ආයතනය ලෙසින් සලකුණක් තැබීමට හැකි වීම අපට ඉමහත් ගෞරවයක්. පසුගිය දශක දෙක පුරාම ඕෂන් ලංකා ආයතනය මිනිසුන්ට හා පරිසරයට වන හානිදායක බලපෑම අවම කිරීම සඳහා කැප වී සිටියා. අපගේ සියලු කොටස්කරුවන් වෙත ආයතනයේ සුරක්ෂිතබව හා වැඩි පරිසර හිතකාමීබව තහවුරු කරවන, මේ සුවිශාල ජයග්රහණයෙන් අපි උද්දාමයට පත් ව සිටිනවා.” ඕෂන් ලංකා පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය, Austin Au සඳහන් කරයි.
අලුත් නිර්මාණ ඉදිරිපත් කිරීම හා ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබා දීම මෙන්ම පවතින වෙළෙඳ පොළ පුළුල් කිරීම හා නව වෙළෙඳ පොළ සොයා ගැනීම ආදි කරුණු ඕෂන් ලංකා පුද්ගලික සමාගමේ මෙම සුවිශේෂී වර්ධනයට හේතු වී තිබේ. පරිසරයට හානිදායක නොවන අන්දමින් නිෂ්පාදන ක්රියාවලියෙහි නියැලීම අගයන රෙදිපිළි කර්මාන්තය තුළ සමාගමේ පැවැත්ම තහවුරු කර ගැනීමට ඉවහල් වී ඇත්තේද එම කරුණුය.
“පරිසරයට වන හානිදායක බලපෑම අවම කිරීම අරමුණු කරගත් රෙදි පිළි හා ඇඟලුම් නිෂ්පාදකයකු බවට පත් වීමේ, ඕෂන් ලංකා පුද්ගලික සමාගම සතු හැකියාව Bluesign® හඳුනාගෙන තිබෙනවා වගේම, එම සමාගම අපගේ ක්‍රමවේදයේ කොටස්කරුවකු කර ගැනීමට හැකි වීම ගැනත් අපි අතිශයින් ආඩම්බරයට පත් වෙනවා. පාරිසරික ආරක්ෂාව හා යහපත් ක්‍රමවේද වේගයෙන් පරිහානියට පත්වන යුගයක, Bluesign® හානිදායක ක්‍රමවේද මූලාරම්භයේ පටන්ම ඉවත් කරලීම සහතික කරනවා. Bluesign® ක්‍රමවේදයේදී අවදානම අවම කිරීම හැරුණු විට රසායනික ද්‍රව්‍ය භාවිතයේ සුරක්ෂිත භාවය වැඩි කිරීම, සම්පත් භාවිතය සම්බන්ධයෙන් උසස් නිෂ්පාදන ක්‍රියාවලියකට අනුගත වීම හා පාරිසරික බලපෑම වෙනුවෙන් නිෂ්පාදන සැකැස්ම වෙනස් කිරීම ආදිය සඳහාද හවුල්කරුවන් දිරිමත් කිරීම සිදු කරනවා.” Bluesign Technologies ag හි Asia/Ocean අලෙවි අධ්යක්ෂ හා CRM කළමණාකාර Walter Streitler පවසයි.
Bluesign® යනු, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරකදීම අනුමත රසායනික ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය යොදා ගැනීමද, මිනිසා හා පරිසරය අවදානමට ලක් කරන ද්‍රව්‍ය ඉවත් කිරීමද සහතික කෙරෙන කළමණාකරණ ක්රමවේදයකි. පාලිත ක්‍රියාවලියක් මගින් නියමිත රසායනික නිෂ්පාදන හා අමුද්‍රව්‍ය යෙදවුම් කර්මාන්තශාලා පරික්ෂාවේදී සහතික කෙරෙන අතර, පාරිභෝගික ආරක්ෂාව ඉහළ මට්ටමින් සහතික කිරීම සඳහා, වගකීම් සහගත සම්පත් භාවිතයද එමගින් සනාථ කෙරේ.