BBDO Sri Lanka හි ‘Deleted Scenes’ කෙටි චිත්‍රපට හතක් ඔස්සේ රැකියා ස්ථාන හිරිහැර පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනගයි

IMG_7853.JPG (LBN)

BBDO Group Sri Lanka විසින් ඉදිරිපත් කරන ලද රැකියා ස්ථානය තුළ සිදු විය හැකි හිරිහැර පිළිබඳව විවරණය කෙරෙන කෙටි චිත්‍රපට හතකින් සමන්විත ‘Deleted Scenes’ නිර්මාණ මාලාව 2026 ඔක්තෝබර් 6 වන දින කොළඹ One Galle Face හි පිහිටි PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේ ය. බොහෝවිට හඳුනා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ විවෘතව සාකච්ඡා කිරීමට අපහසු වන රැකියා ස්ථාන ආශ්‍රිත හිරිහැරකාරී සිදුවීම් මෙම කෙටි චිත්‍රපට හරහා එදිනෙදා ජීවිතයට හුරුපුරුදු පසුබිම් ඔස්සේ නිරූපණය කෙරේ. එමගින් හිරිහැර පිළිබඳව දැනුවත් කිරීමෙන් ඔබ්බට ගොස්, ඒවා හඳුනා ගැනීම, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සහ ඒ සම්බන්ධයෙන් විවෘතව කතා කිරීම සඳහා පුළුල් සංවාදයක් ඇති කිරීම මෙහි අරමුණ විය.




‘Deleted Scenes’ හි ආරම්භය ද සුවිශේෂී වන්නේ එය BBDO Group Sri Lanka හි සේවකයින්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ නිර්මාණාත්මක වැඩසටහනක් වීම හේතුවෙනි. එහිදී සේවකයින්ට කෙටි චිත්‍රපට පිටපත් හරහා රැකියා ස්ථානයේ සිදුවිය හැකි හිරිහැර පිළිබඳ සිය අවබෝධය, අත්දැකීම් සහ නිර්මාණාත්මක දැක්ම ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.

මේ සම්බන්ධයෙන් BBDO Group Sri Lanka හි විධායක සභාපති තයාලන් බාට්ලට් මහතා දැරුවේ මෙවන් අදහසකි. ‘‘මෙම ‘Deleted Scenes’ නිර්මාණාත්මක අදහස ක්‍රියාත්මක කෙරුණේ බොහෝ දුරට විවෘතව සාකච්ඡා කිරීමට අපහසු මාතෘකා පිළිබඳව අර්ථවත් සංවාදයක් ගොඩනැගීමේ අරමුණින්. නිර්මාණාත්මක කටයුතු සිදු කරන ආයතනයක් වශයෙන් අප නිර්මාණශීලී සන්නිවේදන රටාවක් ඔස්සේ රැකියා ස්ථානයන් වටා සිදු වන විවිධ හිරිහැරකාරී අවස්ථාවන් ජීවමාන ලෙස ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට දිරිගැන්වීමටත්, ගෞරවාන්විත රැකියා සංස්කෘතියක් ගොඩනැගීම පිළිබඳව පුළුල් සංවාදයකට දායක වීමටත් අපට අවශ්‍ය වුණා.’’

මෙම ආයතනික අභ්‍යන්තර නිර්මාණාත්මක කාර්යය සඳහා කෙටි චිත්‍රපට පිටපත් 24ක් ඉදිරිපත් වූ අතර, ඉන් පිටපත් 7ක් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් හරහා තෝරා පත් කර ගැනීමට කටයුතු කළේ ය. සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ශානක ගලගොඩ, 2026 සරසවි සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සහ හොඳම නිළිය යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබූ සැන්ඩ්‍රා මැක්, සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදිකා හිරන්‍යා පෙරේරා සහ සම්මානලාභී චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයෙකු හා චිත්‍රපට නිර්මාණකරුවෙකු වන හසිත වර්ණසූරීය යන මහත්ම මහත්මීන්ගෙන් එම ස්වාධීන විනිශ්චය මණ්ඩලය සමන්විත විය. ඔවුන් විසින් තෝරා ගනු ලැබූ පිටපත් ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ නියැලෙන සම්මානනීය අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදන කණ්ඩායම් විසින් කෙටි චිත්‍රපට වශයෙන් සිනමා තිරයට රැගෙන එන ලදී.

එම නිර්මාණ පෙළට අමිල යහලවෙල විසින් රචිත, ඡත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණය යටතේ Strawberry Films හි ප්‍රවීන් කුලසිංහ විසින් නිෂ්පාදනය කළ ‘Talk කරොත් පුළුවන්’, සඳිනි තෙන්නකෝන් සහ තමාල් මංජිත වීරසිංහ විසින් රචිත, විශ්ව බාලසූරිය විසින් අධ්‍යක්ෂණය කොට Mantra Films හි රවීන් වෙත්තසිංහ විසින් නිෂ්පාදනය කළ ‘The Flip’ සහ රුචිරා කුරුළුගම විසින් රචිත, දුලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කර සුමේධ ජයවර්ධන විසින් නිෂ්පාදනය කළ ‘Extra Mile’ කෙටි චිත්‍රපට මෙන්ම,

සහන් ද සිල්වා විසින් රචිත, ජනක. ආර්. දොම්මානිගේ විසින් අධ්‍යක්ෂණය කොට Origin Films හි චමින් දිසානායක විසින් නිෂ්පාදනය කළ ‘සෙනුලි මිස්ගේ කාර් එක’, ප්‍රවීණා පෙරේරා විසින් රචිත, මාලක ප්‍රේමසිරි විසින් අධ්‍යක්ෂණය කර Spectrum Studios හි වර්ජිල් තෝමස් විසින් නිෂ්පාදනය කළ‘ Harmony Index’ ද මෙම චිත්‍රපට අතරට ඇතුලත් වේ.

එමෙන්ම, හේෂාන් කුරුප්පු සහ මලීෂා දිල්හානි විසින් රචිත, ශක්ති ලක්නාථ විසින් අධ්‍යක්ෂණය කර Fever හි ඉෂ්ෆාක් තාහා විසින් නිෂ්පාදනය කළ‘ Error’ සහ ජනිඳු සිරිවර්ධන විසින් රචිත, ඩිලෝන් ද සිල්වා අධ්‍යක්ෂණය කර 24 Frames හි ප්‍රියන්ත කළුආරච්චි විසින් නිෂ්පාදනය කළ ‘How to Stay Not Out’ යන නිර්මාණයන් ද මේ අතර වේ.

කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාව ද මෙම වැඩසටහනේ තවත් වැදගත් අංගයක් විය. උපදේශනය, වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන්, චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් එහිදී රැකියා ස්ථානයේ ගෞරවය, වගකීම සහ ආරක්ෂාව පිළිබඳ විවිධ අදහස් මතු විය. උමා. ඩබ්ලිව්. ඉන්දතිස්ස විසින් මෙහෙයවනු ලැබූ එම විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහා Women In Need හි නීති සහ වැඩසටහන් කළමනාකාරිනී මරියම් මොහොමඩ්, UN Global Compact Network Sri Lanka හි විධායක අධ්‍යක්ෂ රතික ද සිල්වා, චිත්‍රපට නිෂ්පාදිකා හිරන්‍යා පෙරේරා, BBDO Group Sri Lanka හි විධායක සභාපති තයාලන් බාට්ලට් සහ BBDO Group Sri Lanka හි ප්‍රධාන නිර්මාණ නිලධාරී හරේන්ද්‍ර උයනගේ යන පිරිස සහභාගී වූහ.

එම සාකච්ඡාවේ දී රැකියා ස්ථානය තුළ සිදුවන නොමනා ක්‍රියාවන්, නුසුදුසු හැසිරීම් පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, ඒ සම්බන්ධයෙන් සිය ගැටලු විවෘතව ඉදිරිපත් කිරීමටත් හැකිවන පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම රැකියා ස්ථානයේ සිදුවන හිරිහැර පිළිබඳව විවෘත සංවාදයක් ඇති කිරීමට ආයතන දිරිගැන්වීමට සහ වඩාත් ගෞරවාන්විත සේවා සංස්කෘතියක් ගොඩනගා ගැනීමට සහාය වන ආකාරය ද එහිදී මැනවින් ගවේෂණය කළේ ය.

2026 අප්‍රේල් 16 වැනිදා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිළිබඳ සම්මුතිය (අංක 190) අනුමත කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම සුවිශේෂී වේ. එදිනෙදා රැකියා ස්ථානයන් හි දැකිය හැකි හුරුපුරුදු පරිසරයන් පසුබිම් කර ගනිමින් ‘Deleted Scenes’ හරහා විවෘතව සාකච්ඡා කිරීමට අපහසු විය හැකි හැසිරීම් නිර්මාණශීලී අයුරින් මෙලෙස අවධානයට යොමු කෙරිණි.

සේවකයින්ගේ මූලිකත්වයෙන් BBDO Group Sri Lanka තුළ ආරම්භ වූ මෙම නිර්මාණාත්මක වැඩසටහන, එම ආයතනික පරිසරයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන සහ සේවා ස්ථාන අතර සංවාදයක් ගොඩනැගීමට භාවිත කළ හැකි වටිනා මුලපිරීමක් බවට පත්ව තිබේ. මෙරට ආයතනවල දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට අමතරව රැකියා ස්ථානය තුළ සිදුවන හිරිහැර කිරීම් පිළිබඳව තම සේවක කණ්ඩායම් අතර පුළුල් සංවාදයක් ඇති කිරීම සඳහා මෙම ‘Deleted Scenes’ කෙටි චිත්‍රපට මාලාව භාවිත කරන්නැයි සියල්ලන්ටම ආරාධනා කෙරේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව