
පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය.
එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්‍රතිශ්ඨාපනය කර තිබේ. සුදුසුකම් සහිත පුහුණුව ලත් ළමා සංව¾ධන නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යන මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථාන, අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වේ. මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථාන (CDC) මගින් වැවිලි ප්‍රජාවගේ දරුවන්ට නගරයක දරුවෙකු ලබන අධ්‍යාපනික අවස්ථා, සමාජ අත්දැකීම් සහ සංවර්ධන සහාය ලබාදීමට උත්සාහ කෙරේ. එහිදී දරුවන්ගේ ආරක්ෂාව සහ දෛනික රැකවරණය පමණක් නොව, ඔවුන්ගේ සමස්ත ළමා සංවර්ධනයට ද අවධානය යොමු කෙරේ. ඒ සමඟම, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (ECD) ක්‍රීඩාව මූලික කරගත් විධිමත් ඉගෙනුම් ක්‍රම ඔස්සේ දරුවන්ගේ මුල් අධ්‍යාපනය ගොඩනඟන අතර, සේවයේ නිරත මව්වරුන්ට තම දරුවන්ට මව්කිරි ලබාදීමටද වෙන් වූ පහසුකම් සලසා තිබේ.
මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථාන බිහිව ඇත්තේ කලාපීය වැවිලි සමාගම් (RPC), ශ්‍රී ලංකා රජය සහ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස්කරැවන් ඒකාබද්ධ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙසය. ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඇතුළු මෙම පාර්ශ්ව එක්ව 1992 වසරේදී වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) පිහිටුවීමට දායක වූ අතර, එතැන් සිට කලාපීය වැවිලි සමාගම් 22ක් ආවරණය කරමින් වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා කලාපීය වැවිලි සමාගම් වා¾ෂිකව රුපියල් මිලියන 720කට ආසන්න මුදලක් සාමූහිකව වැය කරයි. එය වතුකරයේ ළමා සංවර්ධනය සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් ක්ෂේත්‍රය අඛණ්ඩව සිදුකරන ආයෝජනයේ වටිනාකම පෙන්වා දෙන ප්‍රශස්ත පිලිබිඹුවකි. මුල් ළමාවියේ සිට ලබාදෙන මෙම රැකවරණය, අධ්‍යාපනික සහ සෞඛ්‍යමය පදනම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට ශක්තියක් වන අතර, දිගුකාලීනව අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සාර්ථකව සම්පූර්ණ කිරීමට අවශ්‍ය පසුබිමද මෙමගින් ගොඩනැංවෙන්නේය.
අද වන විට වතු ප්‍රජාවට අයත් දරුවන්ගෙන් 100% ප්‍රාථමික පාසල් අධ්‍යාපන ප්‍රවේශයට ළඟා වී ඇති අතර, ඔවුන්ගෙන් 2% ත් 3%ත් අතර ප්‍රතිශතයක් දේශීය විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය සඳහා ඉදිරියට යන බව දත්තයන් මගින් තහවුරු කර ඇත. පසුගිය වසර දෙක තුළ පමණක් වතු පවුල්වලින් පැමිණි දරුවන් 250කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති අතර, එය මේ දක්වා වතු ක්ෂේත්‍රයෙන් වාර්තා වූ ඉහළම සංඛ්‍යාව ලෙස සැලකේ.
එම සාර්ථක ගමනේ එක් ජීවමාන උදාහරණයක් වන්නේ Strathspey වත්තෙන් පැමිණ, මේ වන විට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන තරුණයාගේ කථාවයි. “මම අද මෙතැනට පැමිණ සිටින්නේ මගේ දෙමාපියන් කළ අඛණ්ඩ කැපවීම සහ මහන්සිය නිසයි,” යැයි ඔහු පවසයි. තම අධ්‍යාපන ගමනට මඟ පෙන්වූ ගුරුවරුන්ට සහ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ගෙන යාමට උපකාර වූ ශිෂ්‍යත්ව ප්‍රදානයටද ඔහු සිය කෘතඥතාව පළ කරයි. ශිෂ්‍යයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වැඩසටහනේ සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුව ඔහුගේ අනන්‍යතාව මෙහි සඳහන් නොකෙරේ.
මෙම වෙනස වඩාත් පැහැදිලිව පිළිබිඹු වන්නේ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT), ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සහ ක්ෂේත්‍රයේ අනෙකුත් හවුල්කරුවන් එක්ව ආරම්භ කළ “Roots to Wings” විශ්වවිද්‍යාල ආරම්භක ශිෂ්‍යත්ව වැඩසටහන තුළිනි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්නා දක්ෂ වැවිලි ප්‍රජාව නියෝජනය කරන අධ්‍යාපනික කටයුතු සඳහා දස්කම් දක්වන නමුත් විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික වියදම් දැරීමට නොහැකි වීම නිසා එම අවස්ථාව අහිමි වන සිසුන් තෝරා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
“සෑම වසරකම දක්ෂ දරුදැරියන් විශ්වවිද්‍යාලයට තේරී පත්වුණත්, ලැප්ටොප් පරිගණකයක්, පොත්පත් අධ්‍යාපනික උපකරණ හෝ විශ්වවිද්‍යාලයට ගෞරවයෙන් යාමට අවශ්‍ය සුදුසු ඇඳුම් පවා මිලදී ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් එම අවස්ථාව අහිමි කරගැනීමේ අවදානමට මුහුණ දෙන ආකාරය අපි නිරීක්ෂණය කලා,” යැයි PHDT අධ්‍යක්ෂ ජනරාල් ලාල් පෙරේරා මහතා පැවසීය. “ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි කරුණු හොඳින් අධ්‍යයනය කර, දරු දැරියන් මුහුණ දෙන හදිසි මූල්‍ය හිඩැස පුරවන වැඩපිළිවෙළක් ආරම්භ කළා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට අවශ්‍ය මුල් වියදම් PHDT මගින් සපයන අතර, එතැන් සිට කලාපීය වැවිලි සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම සිසුවා හෝ සිසුවිය උපාධිය සම්පූර්ණ කරන තෙක් සහාය ලබාදෙනවා.”
දෙමාපියෙකු විශ්‍රාම යාමත් සමඟ පවුලට වතු නිවාස පහසුකම අහිමි වුවද එය දරුවෙකුගේ උපාධි ගමන නතර වීමට හේතුවක් නොවිය යුතු බවද ඔහු අවධාරණය කරයි. එවැනි අවස්ථාවල සිසුන්ට නිවාස පහසුකම් භාවිතය දීර්ඝ කර දෙන අතර, අවශ්‍ය විට කලාපීය වැවිලි සමාගම් විසින් නව නිවාස ද ලබාදෙයි. එම නිවාස වැඩසටහන්වලට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රදානවලින්ද කොටසක් සහාය ලැබේ. “දරුවෙකු තම හැකියාවෙන් සරසවි වරම් දිනාගත් පසු, පවුලේ ආර්ථික හෝ ජීවන තත්ත්වයන් නිසා එම අවස්ථාව අහිමි නොවීමට වගබලා ගැනීම අපගේ වගකීමක් ලෙස අපි සලකනවා,” යැයි ලාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“Roots to Wings” වැඩසටහන අද වන විට සාමාන්‍ය ශිෂ්‍යත්වයක සීමාව ඉක්මවා ගොස් තිබේ. එය වතුකරයේ දක්ෂ දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය සහාය පමණක් නොව, ගෞරවය, ස්ථාවරත්වය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවද ලබාදෙන අත්වැලක් බවට පත්ව ඇත. දක්ෂතාව තිබුණද ආර්ථික හා සමාජීය බාධක හේතුවෙන් අධ්‍යාපන ගමන අතරමඟ නතර වීමේ අවදානමට මුහුණ දෙන තරුණ දරුදැරියන්ට අවශ්‍ය සහාය ලබාදීම මගින්, වතුකරයෙන් බිහිවන මානව සම්පත අහිමි නොවී හෙට දවසේ වෘත්තිකයන් සහ නායකයන් බවට පත් කිරීමට මෙම වැඩසටහන මගින් ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙයි. එය තනි ආයතනයක ව්‍යාපෘතියකට වඩා, ක්ෂේත්‍රයේ විවිධ පාර්ෂව එක්ව තරුණ පරපුරේ අභිලාෂයන් ආරක්ෂා කරන සාමූහික වගකීමක ආකෘතියක් ලෙසද සැලකිය හැකිය.
මෙම වැඩසටහන සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 10ත් 15ත් අතර මුදලක් වැය වන අතර, එම මුදල් වැවිලි ක්ෂේත්‍රයේ විවිධ පාර්ෂවයන්ගේ දායකත්වයෙන් සපයනු ලබයි. 2024–2025 කණ්ඩායම සඳහා කලා අංශයේ සිසුන් 35ක්, වාණිජ හා කළමනාකරණ අංශයේ 22ක්, නාට්‍ය හා රංග කලාවේ 13ක්, ජෛව පද්ධති තාක්ෂණවේදයේ 10ක්, සංගීත අංශයේ 7ක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ 6ක්, වෛද්‍ය හා ඉංජිනේරු අංශවල සිසුන් 4 බැගින්, ඉංජිනේරු තාක්ෂණවේදයේ 3ක්, නීති අංශයේ 2ක් සහ අනෙකුත් පීඨවල සිසුන් 24ක් ඇතුළත් වේ. වතුකරයේ ඉහළ අධ්‍යාපනයට ප්‍රවේශය එක් කලෙක ඉතා දුර්ලභ අවස්ථාවක් වූ පසුබිමක, මේ අයුරින් විවිධ අධ්‍යයන ක්ෂේත්‍ර වෙත සිසුන් ප්‍රවේශ වීම සැලකිය යුතු වෙනසකි. PHDT ඉලක්කගත ප්‍රදේශවල සාක්ෂරතා මට්ටම 40% සිට 84% දක්වා ඉහළ ගොස් තිබීමද එම දිගුකාලීන පරිවර්තනයේ තවත් දර්ශකයකි.
ඒ සමඟම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වැවිලි කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය වැනි විශේෂිත උපාධි පාඨමාලා, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය හරහා ලබාදෙන වෘත්තීය පුහුණුව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන ඩිජිටල් අධ්‍යාපන අවස්ථාද වැවිලි ප්‍රජාව නියෝජනය කරන තරුණ තරුණියන්ට නව අධ්‍යාපනික හා වෘත්තීය මාර්ග විවෘත කරමින් තිබේ. ඒ අනුව, වැවිලි ප්‍රජාවේ දරුවෙකුගේ අනාගතය තවදුරටත් වතු සීමාව තුළම සීමා විය යුතු නැති බවට මෙම නව පරපුරේ අධ්‍යාපන ගමන ප්‍රබල සාක්ෂියක් සපයයි.
1992 වසරේ සිට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ පවුල් සෞඛ්‍ය කාර්යංශය සමඟ එක්ව නිරීක්ෂණය කර ඇති දත්ත අනුව, වතුකරයේ මව් හා ළමා සෞඛ්‍ය දර්ශකවල කැපී පෙනෙන ප්‍රගතියක් වාර්තා වී තිබේ. සජීවී උපත් 1,000කට 18.3ක්ව පැවති මාතෘ මරණ අනුපාතය 4.65 දක්වා පහළ ගොස් ඇති අතර, වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ අනුපාතය 42.6 සිට 6.26 දක්වා අඩු වී ඇත. සජීවී උපත් 100,000කට 150ක් තරම් ඉහළ මට්ටමක පැවති මාතෘ මරණ අනුපාතය නවතම දත්ත අනුව බොහෝ ප්‍රදේශවල ශූන්‍යයට ආසන්න මට්ටමකට පහළ ගොස් තිබේ. එසේම, දරු ප්‍රසව 1,000කට 40ක්ව පැවති මළ දරු උපත් සංඛ්‍යාව අද වන විට පහකටත් අඩු මට්ටමකට පත්ව ඇත.
මේ වන විට වතුකරයේ සියලු දරු ප්‍රසූතින් සෞඛ්‍ය ආයතන තුළ සිදු වන අතර, ගර්භණී මව්වරුන් සියලු දෙනාටම පාහේ පූර්ව ප්‍රසව සෞඛ්‍ය සේවා ලැබේ. දරුවන්ගේ පළමු වසරට අදාළ ප්‍රතිශක්තිකරණ වැඩසටහනද සම්පූර්ණ ආවරණයට ආසන්න මට්ටමකට පැමිණ ඇත. වතු ප්‍රදේශවල මාර්ග හා නිවාස පහසුකම් වැඩිදියුණු වීම, සුබසාධන සේවා පුළුල් කිරීම සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම මෙම දියුණුවට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව අදාළ දත්ත පෙන්වා දෙයි.
වතුකරයේ ළමා පෝෂණ වැඩසටහන් ද කාලයත් සමඟ වෙනස් වී තිබේ. කොන්ත්‍රාත්කරුවන් මගින් සපයන ලද ආහාර පැකට් මත රඳා පැවති ක්‍රමයෙන් ඉවත් වෙමින්, අද බොහෝ මධ්‍යස්ථානවල දරුවන්ගේ මධ්‍යහ්න ආහාර දෙමාපියන් විසින් සකස් කර ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත. ඒ සමඟම, මධ්‍යගතව කළමනාකරණය කරන මුළුතැන්ගෙයක් මගින් ආහාර සකස් කිරීමේ නව ආකෘතියක් Dessford වත්තේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, දෙවැනි පහසුකමක් Holyrood වත්තේ ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබේ. එහෙත් වතුකරයේ කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වය තවදුරටත් වැඩි අවධානයක් සහ අඛණ්ඩ ආයෝජනයක් අවශ්‍ය ක්ෂේත්‍රයක් බව නිලධාරීහුද පිළිගනිති.
විශේෂයෙන් මාතෘ මරණ අනුපාතය පහළ දැමීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිඵලවල ලබා ඇති ප්‍රගතිය වතුකරයේ ප්‍රජා සංවර්ධනය තුළ සිදුවූ සැලකිය යුතු වෙනසක් ලෙස දැක්විය හැකිය. ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රජා සුබසාධනය වෙනුවෙන් අඛණ්ඩව සිදුකරන ආයෝජනය සෞඛ්‍යයට පමණක් සීමා නොවී, ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළු අධ්‍යාපනික සහාය දක්වාද විහිදී තිබේ. මේ වන විට ගොඩනැගී ඇති සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබසාධන ආධාර පද්ධති එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වීමෙන් වතුකරයේ දරුවන්ට සහ පවුල්වලට වඩා හොඳ අධ්‍යාපනික, සෞඛ්‍යමය සහ සමාජ අවස්ථා ලබාගැනීමට පසුබිමක් නි¾මාණය වෙමින් පවතී.


