Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සපිරි (සාමාන්‍ය) සිල්ලර වෙළඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කෙරේ

IMG_2474

Brand Finance විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සහිත සාමාන්‍ය සිල්ලර වෙළඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කර ඇත.

සන්නාම වටිනාකම රුපියල් බිලියන 13.888ක් සහ AAA- සන්නාම වර්ගීකරණයක් ලබා ගනිමින්, ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකම් සහිත සන්නාම 100 අතර 14වන ස්ථානය හිමි කර ගැනීමට සිංගර් සමාගම සමත් වී ඇත. මෙම ඇගයීම තුළින් පෙනී යන්නේ සිංගර් සන්නාමය විසින් අඛණ්ඩව ලබා ඇති වර්ධනය සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර සමාගම දිනා ඇති නොමැකෙන විශ්වාසයයි.




මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ සඳහන් කළේය. “Brand Finance වෙතින් මෙවැනි ඇගයීමකට ලක්වීමට ලැබීම ගැන අපි ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. සිංගර් කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලම කොටසක් බවට පත් වූ සන්නාමයක්. අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති නොබිඳෙන විශ්වාසය මෙම ජයග්‍රහණයෙන් මනාව පැහැදිලි වෙනවා. අප නව ක්ෂේත්‍රයන් වෙත යොමු වන අතරේ අපගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කරන්නට කටයුතු කරමින් සිටින මෙවැනි කාලයක, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වටිනාකම් වැඩිම සාමාන්‍ය සිල්ලර වෙළඳ සන්නාමය ලෙස ඇගයීමට ලක්වීම ඉතා සුවිශේෂයි. අපගේ පාරිභෝගිකයන්ට වැඩි තේරීම් ප්‍රමාණයක්, වඩා හොඳ පාරිභෝගික අත්දැකීමක් සහ වැඩි වටිනාකමක් ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.”

වසර 149ක ඉතිහාසය පුරා, සිංගර් සමාගම මහන මැෂින් සඳහා ප්‍රසිද්ධ වූ සන්නාමයක සිට ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ විශාලතම පාරිභෝගික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. අද වන විට, මෙම සමාගම ගෘහ උපකරණ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග, ස්මාර්ට්ෆෝන්, සැහැල්ලු වාහන, කෘෂිකර්මාන්තය, සන්නිවේදන සේවා, පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන සහ මූල්‍ය විසඳුම් යන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

පාරිභෝගික අවශ්‍යතාවල සිදුවන ශීඝ්‍ර වෙනස්වීම් මැනවින් හඳුනාගෙන කටයුතු කරන සිංගර් සමාගමේ ප්‍රධානතම ශක්තියක් වන්නේ දිවයින පුරා විහිදුණු ජාලයයි. පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් ලබා දිය හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ඇති හැකියාව ද මෙම ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

පසුගිය වසරවලදී සිංගර් සමාගම නව නිෂ්පාදන ක්ෂේත්‍ර කිහිපයක් වෙත අවදානය යොමු කළ අතර, එමගින් සමාගමේ වත්මන් ව්‍යාපාරික කටයුතු තවදුරටත් බලගන්වමින් ගෘහස්ථ හා ව්‍යාපාරික අවශ්‍යතා රැසකට වටිනාකම් සහිත විසඳුම් පිරිනමන්නටත් සමාගම සමත් විය.

එමෙන්ම, නවීකරණය කළ වෙළඳසැල් ජාලය, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සුවිසල් නිෂ්පාදන පරාසය, දීප ව්‍යාප්ත සේවාව සහ විශ්වසනීය අලෙවියෙන් පසු සේවාව යන කරුණු මඟින් පරම්පරා ගණනාවක් පුරා සිංගර් සන්නාමය ගොඩනැගූ විශ්වාසයේ පදනම් තවදුරටත් ශක්තිමත් කරන්නට සමාගමට හැකි වී ඇත.

වර්තමාන පාරිභෝගිකයින් යනු බුද්ධිමත් පිරිසකි. ඔවුන් මිලදී ගැනීමට පෙර භාණ්ඩ පිළිබඳ තොරතුරු සොයාබැලීමට උනන්දුවක් දක්වති. ඔවුන්ට පහසුවක් වීම සඳහා මෙන්ම සන්නාමය සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරන පරිවර්තනයන් සඳහා ද සමාගම විශාල වශයෙන් ආයෝජනය කරයි. Omnichannel retailing, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සහ වෙළඳ ප්‍රචාරණය මෙන්ම පාරිභෝගික අත්දැකීම වඩාත් සුවපහසු කිරීම සඳහා දත්ත භාවිත කිරීම වැනි කරුණු මීට ඇතුළත් වේ.

තාක්ෂණය කොතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කළද, පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගිකයින් සිංගර් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසයට මුල් වූයේ ඒ තුළ තිබූ හෘදයාංගම සම්බන්ධතාව සහ ළෙන්ගතු සේවාවයි. ඒකී නොබිඳුණු සබැඳියාව මෙම නව තාක්ෂණික හැකියාවන් හා එකිනෙක සම්බන්ධ කිරීම සිංගර් සමාගමේ ප්‍රධාන අරමුණයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිංගර් සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනි මහතා, “අප විශ්වාස කරන ආකාරයට, පාරිභෝගිකයාට සමීපව සිටීම කියන්නෙ හුදෙක් නව ක්ෂේත්‍රවලට පිවිසීම හෝ නව තාක්ෂණය භාවිත කිරීම පමණක්ම නෙවෙයි. ඉන් අදහස් වෙන්නේ අපගේ පාරිභෝගිකයින්ගේ ජීවිත වෙනස් වන ආකාරය තේරුම් ගෙන, අපිත් ඒ සමඟම වෙනස් වෙන බවට පාරිභෝගිකයාට තහවුරු කිරීමයි. සිංගර් සමාගම ඉතා මැනවින් ඒ කාර්යය ඉටු කරමින් ඉන්නවා. වසර ගණනාවක් පුරා අපි මහන මැෂින් සමාගමක් ලෙස ප්‍රසිද්ධියට පත් සිටි සිංගර් සමාගම ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් පාරිභෝගික ජීවිතයේ විවිධ පැතිවල වැදගත් කොටසක් බවට පත් වුණේ ඒ විදියටයි. අපේ මේ ගමන්මඟ තුළ වසර 150කට ආසන්න කාලයක් තිස්සේ සිංගර් සන්නාමය දිනාගත් ශක්තිමත් විශ්වාසය, පහසුව, දිවයින පුරා විහිදුණු ජාලය සහ විශ්වසනීය සේවාව අඛණ්ඩව ආරක්ෂා කරගැනීමත් අත්‍යවශ්‍යයි. අපි දිගටම පාරිභෝගික අවශ්‍යතාවන්ට ඇහුම්කන් දෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව නව නිපැයුම් හඳුන්වා දෙමින්, වඩාත් හොඳ අත්දැකීමක් ලබා දෙන්නට කටයුතු කරනවා. මේ නිසාම, ඉදිරි පරම්පරාවලටත් සිංගර් සන්නාමය සැමවිටම සමීපව පවතිනු ඇතැයි මම විශ්වාස කරනවා.”

Brand Finance ආයතනය විසින් මුල්‍යමය කාර්යසාධනය, සන්නාමයේ ශක්තිය සහ වෙළඳපොළ තුළ ඇති පිළිගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් සම්මත ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඔස්සේ සන්නාම ඇගයීමට ලක් කරනු ලබයි. මෙම ශ්‍රේණිගත කිරීම මගින් අදාළ වෙළඳපොළ තුළ සන්නාමවල පවතින ශක්තිය සහ වටිනාකම පිළිබඳ ස්වාධීන මිනුම්දඬු සපයයි.

මෙම නවතම ඇගයීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිල්ලර වෙළඳ සන්නාමයක් ලෙස සිංගර් සමාගම හිමිකරගෙන ඇති ස්ථානය තවදුරටත් තහවුරු වන අතර, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාමෙන් ඔබ්බට යමින් සිදුකරන පරිවර්තනය ද මනාව පිළිඹිමු කරයි. පාරිභෝගික අවශ්‍යතා සහ ලාංකික ජීවන රටාවන් වෙනස් වන විට, ඊට සමාන්තරව විශ්වසනීය, නවීන විසඳුම් සපයන්නෙකු ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගන්නට සිංගර් සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව