Fems අනුග්‍රහය ලබන රජයේ ‘තිළිණපත්’ වැඩසටහනෙන් ශිෂ්‍යාවන් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

Capture

දැනටමත් පාසල් 6,108 ක සිසුවියන් ලක්ෂ 10 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන, කාලීන සමාජ මෙහෙවරක් ලෙස ‘තිළිණපත්’ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් විශාල පිරිසකට තවමත් තම මාසික ඔසප් වීම යනු බරපතළ  අභියෝගයකි. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඇති අපහසුතාව පමණක් නොව, ඔසප් වීම පිළිබඳ ඇති අඩු දැනුම සහ සමාජ තහංචි වැනි කරුණු රැසක්ද ඊට බලපායි. සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම ඔවුන්ට ඇති තවත් බරපතළ ගැටලුවකි. මේ නිසා බොහෝ සිසුවියන්ට ඔසප් වන දිනවල පාසල් යාමට පවා නොහැකි වන අතර, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට සිය මාසික ඔසප් වීම සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට සිදු වී තිබේ.




Hemas Consumer Brands සමාගම සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, මෙම බාධක අවම කිරීම සඳහා රජයේ ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. සමාගමකින් සිදුකරන ප්‍රජා සත්කාරයකට සීමා නොවී, ඔසප් නිෂ්පාදන ලබාගැනීම පහසු කිරීම, ඔසප් වීම පිළිබඳව කාන්තාවන් හා ගැහැනු දරුවන් දැනුවත් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම යන අරමුණු තුනම ආවරණය වන ලෙස  Fems මෙය ක්‍රියාත්මක කරයි.

‘තිළිණපත්’ යනු මේ යටතේ Fems දායකත්වය ලබාදෙන එක් ප්‍රධානතම වැඩසටහනකි. 2024 ජුනි මාසයේදී රජයේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

මේ වන විට දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත විශේෂ පාසල් 6,108 ක ශිෂ්‍යාවන් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබති. වැඩසටහන ආරම්භයේ සිටම එහි ප්‍රධාන සන්නාම හවුල්කරුවකු ලෙස Fems කටයුතු කරයි. මේ හේතුව නිසා පාසලේදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේදී තමන් කැමති සන්නාමය සහ වර්ගය තෝරාගැනීමේ නිදහස පාසල් සිසුවියන්ට හිමි වී තිබේ.

“‘තිළිණපත්’ යනු පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාගැනීම පහසු කිරීම සඳහා රජයේ සහය ඇතිව ක්‍රියාත්මක වන වැඩසටහනක්. ආරම්භයේ සිටම එහි කොටස්කරුවකු වීම තුළින්, සිසුවියන්ට වසරක් සඳහා ප්‍රමාණවත් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමටත්, ඒ සමඟම තමන් කැමති සන්නාමය සහ වර්ගය ස්වාධීනව තෝරාගැනීමට අවස්ථාව ලබාදීමටත් අපට හැකි වී තිබෙනවා.” Hemas Consumer Brands සමාගමේ සාමාන්‍යාධිකාරිනී (අලෙවි) සචිනි ගමගේ මහත්මිය පැවසුවාය.

ඔසප් නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව ලබාදීම මෙම ක්‍රියාවලියේ එක් අංශයක් පමණි. මෙම මෙහෙවර යටතේ ක්‍රියාවට නංවනු ලබන ‘අපි කතා කරමු’ මාසික සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යාපන වැඩසටහන හරහා ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ශිෂ්‍යාවන් දැනුවත් කිරීමටද Fems පියවර ගෙන ඇත. පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් පාසල් වෙත පැමිණ, ඔසප් සෞඛ්‍යය ආශ්‍රිත කරුණු පිළිබඳව සිසුවියන් සමඟ විවෘතව සාකච්ඡා කරති.

2021 වසරේ සිට මෙම වැඩසටහන හරහා දිවයින පුරා පාසල් සිසුවියන් 250,000 කට වැඩි පිරිසක් දැනුවත් කර තිබේ. සාමාන්‍යයෙන් කතා කිරීම නුසුදුසු හෝ තහනම් මාතෘකාවක් ලෙස සැලකෙන ඔසප් වීම පිළිබඳ සංවාද සාමාන්‍ය දෙයක් බවට පත්කිරීමටත්, නිවැරදි හා ප්‍රායෝගික තොරතුරු සිසුවියන් වෙත සන්නිවේදනය කිරීමටත් එම වැඩසටහන මඟින් සුවිශාල මෙහෙවරක් ඉටු වී ඇත.

ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් එතරම් කතාබහට ලක් නොවන තවත් වැදගත් අංශයක් වන, භාවිතා කළ සනීපාරක්ෂක තුවා නිසි පරිදි බැහැර කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද Fems අවධානය යොමු කර තිබේ. බොහෝ පාසල්වල සනීපාරක්ෂක අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බැවින්, ඒවා සෞඛ්‍යාරක්ෂිතව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි බැහැර කිරීම දුෂ්කර වී ඇත.

මෙම ගැටලුවට පිළියමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ‘Purple Bin’ ව්‍යාපෘතිය හරහා Fems විසින් පාසල්වලට සනීපාරක්ෂක අපද්‍රව්‍ය එකතු කිරීම සඳහාම වෙන් කළ බඳුන් ලබා දී තිබේ. ඊට සමගාමීව ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන ලදී. මෙම බඳුන්වල එකතු වන අපද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රධානතම අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නෙකු වන ‘Sisili Hanaro Encare’ විසින් එකතු කර කළමනාකරණය කරනු ලබයි.

ඔසප් සෞඛ්‍යය පිළිබඳ ගැටලුව සනීපාරක්ෂක තුවාවල මිලගණන්වලට පමණක් සීමා නොවේ. මෙහිදී පාසල් සිසුවියන්ට සිය මාසික ඔසප් වීම විශ්වාසයෙන් සහ ගෞරවාන්විතව කළමනාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම, සහයෝගය සහ  අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ලබාදීම අරමුණු කරගත් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කිරීම අතිශයින් වැදගත්ය. ‘තිළිණපත්’ යනු එම අරමුණ වෙනුවෙන් Fems විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා අනෙකුත් රජයේ පාර්ශව සමඟ එක්ව ක්‍රියාවට නංවන සාර්ථක හා ඵලදායී වැඩසටහනකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව