SLT-MOBITEL ‘The Embryo’ හි ‘SenseGrid’ විසඳුම ‘SLASSCOM National Ingenuity Awards 2026’ හි ජාතික අනුශූරතාව දිනා ගනී

SLT-MOBITEL හි ‘Embryo’ කණ්ඩායම SLASSCOM National Ingenuity Awards 2026 හිදී හිමිවූ සම්මානය හා සහතිකය සමඟ

පසුගියදා පැවති ‘SLASSCOM National Ingenuity Awards 2026’ සම්මාන උළෙලේදී නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය (Best Innovative Product in Manufacturing) කාණ්ඩයේ ජාතික අනුශූරතාව දිනාගැනීමට, SLT-MOBITEL හි නවෝත්පාදන අංශය වන The Embryo විසින් නිර්මාණය කරන ලද ‘SenseGrid’ විසඳුම සමත් විය.

SenseGrid යනු බුද්ධිමත් නිරීක්ෂණය, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ විශ්ලේෂණ හැකියාවන් ඔස්සේ නිෂ්පාදන සහ කාර්මික මෙහෙයුම් පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපාරික මට්ටමේ ‘Industrial IoT’ විසඳුමකි.

The Embryo කණ්ඩායම වෙත හිමි වූ මෙම සම්මානය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් න්‍යාය පත්‍රයට සමගාමී වන, ජාතික හා වාණිජමය වැදගත්කමක් සහිත උසස් තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැක.

මෙම ජයග්‍රහණය තුළින් කර්මාන්ත කේන්ද්‍ර කරගත් ඩිජිටල් පරිවර්තනය දිරිගැන්වීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මෙන්ම, නිෂ්පාදන ක්ෂේත්‍රයේ සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා SenseGrid විසඳුම සතු හැකියාව මැනැවින් පිළිබිඹු වේ. Industrial IoT සහ AI බලය උපයෝගී කරගනිමින් SenseGrid මඟින් සංවේදක මත පදනම් වූ අධීක්ෂණය, සජීවී නිරීක්ෂණය, පුරෝකථනමය තොරතුරු සහ දත්ත මත පදනම් වී තීරණ ගැනීමේ හැකියාව ලබා දෙයි. එමඟින් කර්මාන්තවලට මෙහෙයුම්වලට සිදුවන බාධා අවම කරගැනීමටත්, කාර්යක්ෂමතාව ඉහළ නංවාගැනීමටත්, කාර්මික පරිවර්තනයේ සිව්වැනි යුගය වෙත විශ්වාසයෙන් යුතුව පිවිසීමටත් හැකියාව ලැබේ.

DHL සහ DSI වැනි හවුල්කරුවන් සමඟ එක් වී දැනටමත් ප්‍රායෝගිකව භාවිතා කර තහවුරු කරගෙන ඇති SenseGrid විසඳුම, අත්හදා බැලීමේ අවධියෙන් ඔබ්බට ගොස් සැබෑ කාර්මික අවශ්‍යතා සඳහා යොදාගත හැකි මට්ටමට පැමිණ ඇත. යන්ත්‍රවල තත්ත්වය අධීක්ෂණය කිරීම, ගබඩා උෂ්ණත්වය පාලනය කිරීම, පාරිසරික තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්දීම් සිදුකිරීම සහ මෙහෙයුම් සම්බන්ධ අනතුරු ඇඟවීම් ලබා දීම ඇතුළු කාර්යයන් සඳහා එය සාර්ථකව භාවිතා කළ හැකි වේ. මෙම සාර්ථකත්වය මඟින් කාර්මික පරිසරයන් තුළ SenseGrid හි ප්‍රායෝගික වටිනාකම සහ වාණිජමය ශක්‍යතාව මැනැවින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (Sri Lanka Association for Software and Services Companies – SLASSCOM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘National Ingenuity Awards’ සම්මාන උළෙල, පුරෝගාමී අදහස් සහ පරිවර්තනීය ඩිජිටල් විසඳුම් ඇගයීමට ලක් කරන ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලකි. මෙවර සම්මාන උළෙලේදී මූල්‍ය තාක්ෂණය (Fintech), කෘෂි තාක්ෂණය (Agritech), සෞඛ්‍ය තාක්ෂණය (Healthtech), නිෂ්පාදන, කාර්ය සම්පාදන, පාරිභෝගික වෙළෙඳාම්, සත්කාරක සේවා, අධ්‍යාපන තාක්ෂණය (Edutech), රාජ්‍ය නවෝත්පාදන සහ පොදු නවෝත්පාදන ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක නවෝත්පාදන ඇගයීමට ලක් කෙරිණි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව