අමානා බැංකුවේ 15 වැනි සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කෙරේ

Image 1 (LBN)

අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සමඟ එක්ව මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කළේය. මෙම මුද්දරය සහ සමරු කවරය එළිදැක්වීමේ උත්සවය 2026 අගෝස්තු 12 වැනි දින පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට අමානා බැංකුව ලබා දී ඇති දායකත්වය මෙන්ම, සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව ලෙස එහි සුවිශේෂී භූමිකාවද ඇගයීමට ලක් විය.




2011 වසරේදී මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා අමානා බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙම මුද්දරය සහ සමරු කවරය මඟින් නිරූපණය වේ. අමානා බැංකුවේ සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය වසර 15 ක් පුරා රටේ දියුණුවට අත්වැලක් වෙමින් ජනතාවගේ ජීවිත සවිබල ගන්වා ඇත. මේ වන විට අමානා බැංකුවේ ශාඛා සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 80 කට අධික සංඛ්‍යාවක් රට පුරා පිහිටුවා ඇති අතර, එහි පාරිභෝගික පදනම වේගයෙන් පුළුල් වෙමින් පවතී. ප්‍රධාන වශයෙන් පාරිභෝගික බැංකුකරණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සහ සංවර්ධන බැංකුකරණය කෙරෙහි අවධානය යොමු කරන අමානා බැංකුව, තෝරාගත් ප්‍රවේශයක් ඔස්සේ සමාගම් හා ආයතන සඳහාද බැංකු සේවා පහසුකම් සපයයි.  බැංකුවේ වත්කම් මත පදනම් වූ මූල්‍යකරණ ආකෘතිය (Asset-backed banking model) මඟින් ආර්ථිකයේ ඵලදායී ක්ෂේත්‍ර වෙත අඛණ්ඩව මූල්‍ය පහසුකම් සපයනු ලබන අතර, එමඟින් බැංකුවේ වටිනාකම් සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යවසායකයින්, පවුල් සහ ව්‍යාපාර සඳහා මූල්‍ය සහය ලබාදීම සිදු වේ.

මෙම උත්සවයට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා, එම දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා මහතා, අමානා බැංකුවේ ආරම්භක සභාපති ඔස්මාන් කාසිම් මහතා, වර්තමාන සභාපති අස්ගි අක්බරලි මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ආරම්භක අධ්‍යක්ෂවරුන් වන තයිබ් අක්බරලි, රුස්ලි හුසේන්, ජස්රි මැග්ඩන් ඉස්මයිල් සහ ආචාර්ය ඒ. ඒ. එම්. හාරූන් යන මහත්වරුන්, ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ෆයිසාල් සාලි මහතා, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ෂරියා අධීක්ෂණ මණ්ඩලය, OrphanCare භාරකරුවන්, බැංකුවේ කළමනාකරණ කමිටුවේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ශාඛා කළමනාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මුද්දරය සහ සමරු කවරය නිකුත් කිරීමට පෙර, අමානා බැංකුව විසින් සිය 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජාතික ධජය එසවීමද සිදුකරන ලදි.

මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසීය:

“අමානා බැංකුවේ 15 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ එළිදක්වනු ලබන මෙම විශේෂ මුල් දින කවරය සහ මුද්දරය, අධිෂ්ඨානය සහ විශ්වාසය මත ගොඩනැගුණු අපගේ සුවිශේෂී ගමන් මඟට පිදෙන උපහාරයක් ලෙස හැඳින්විය හැකියි. අප අත්කරගත් ජයග්‍රහණ පමණක් නොව, අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, නියාමන ආයතන, කාර්ය මණ්ඩලය සහ ජනතාව ඇතුළු සියලුම පාර්ශ්වයන් අප කෙරෙහි තබා ඇති දීර්ඝකාලීන විශ්වාසයද මෙමඟින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය අතීතය සැමරීමක් පමණක් නොව, ඉදිරි ගමනට අප හට මඟපෙන්වන වටිනාකම් සහ අරමුණු යළි තහවුරු කිරීමක් ලෙසද හැඳින්වීමට පුළුවන්. මෙය පුරෝගාමී දැක්මක් මත ආරම්භ වූ, කාර්ය මණ්ඩලයේ කැපවීම තුළින් වර්ධනය වූ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය තුළින් ශක්තිමත් වූ බැංකුවක කතාවයි. මෙමඟින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතරම, තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අත්වැලක් වීම සහ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගතියට අර්ථවත් දායකත්වයක් ලබා දීම සඳහා වන අපගේ කැපවීම නැවත වරක් තහවුරු කරනවා.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් දැක්වීය:

“අපගේ 15 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම විශේෂ සමරු කවරය සහ මුද්දරය නිකුත් කිරීමට හැකි වීම අපට ලැබුණු විශාල ගෞරවයක් ලෙස අප දකිනවා. තැපැල් මුද්දරයක් මඟින් ආයතනයක වැදගත් සන්ධිස්ථානයක් සැමරීම බෙහෙවින් අර්ථවත් ක්‍රියාවක්. මුද්දර මඟින් වැදගත් අවස්ථා සදාතනිකව ඉතිහාසගත වන අතර, ඒවා දේශයේ ප්‍රගතියට දායක වූ පුද්ගලයන්, ආයතන සහ සිදුවීම් පිළිබඳ අනාගත පරපුරට පැහැදිලි අවබෝධයක්ද ලබාදෙනවා. එබැවින් අද එළිදක්වන මෙම විශේෂ සමරු කවරය සහ මුද්දරය අමානා බැංකුවේ පහළොස් වසරක ගමන් මඟ සහ එයට පදනම් වූ වටිනාකම් සදාතනිකව සිහිපත් කරන සංකේතයක් බවට පත්වේවි.”

මෙම විශේෂ සමරු කවරය සහ මුද්දරය නිකුත් කිරීම අමානා බැංකුවේ 15 වැනි සංවත්සර සැමරුම් මාලාවේ එක් ප්‍රධානතම අංගයකි. මෙම දශක එකහමාරක ගමන් මඟ පුරා බැංකුවේ දියුණුවට පන්නරය දුන් මෙහෙවර සහ වටිනාකම් එලෙසින්ම හෙට දිනය කරා රැගෙන යමින්, ජනතාවගේ සංවර්ධනයට අත්වැලක් සමඟින් ඉසුරුමත් ජීවිතයක් උරුම කර දීම අමානා බැංකුවේ අරමුණ වී තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව