
Jaffna Kings සමඟින් Galle Gallants තරග වදිද්දී Colombo Kaps කණ්ඩායම Kandy Royals සමඟ සටනට
සුවිශේෂී පිතිකරණ හැකියාවන් හා විශිෂ්ට පන්දු යැවීම් සමඟින් ඉතා උද්වේගකර ආරම්භයක් සනිටුහන් කළ 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාලියේ පළමු වටයේ තරග අවසන් කරමින් සුපිරි 4 දෙනාගේ තරග අගෝස්තු 5 වන දින සිට ඇරඹීමට නියමිතය. ඒ අනුව එම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන Jaffna Kings කණ්ඩායම දෙවන ස්ථානය දිනාගෙන සිටින Galle Gallants සමග තරග වදින අතර Colombo Kaps කණ්ඩායම Kandy Royals සමග සටනට එක්වනු ඇත. මේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිනට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Jaffna Kings හා Galle Gallants හි හැකියාවන්
තරග 8කට මුහුණ දී ප්‍රසාද ලකුණු 11ක් හිමිකරගනිමින් ලැයිස්තුවේ ඉහළම ලකුණු ලබාගත් කණ්ඩායම ලෙස මූලික වටය අවසන් කළ Jaffna Kings කණ්ඩායම සතු විශේෂම ශක්තිය වන්නේ ඔවුන්ගේ පන්දු යැවීමේ අංශයයි. මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා සිටින ලිසාඩ් විලියම්ස් සහ දුනිත් වෙල්ලාලගේ සමගින් ශක්තිමත්ව ඉදිරියට යන Jaffna Kings පන්දු බලඇණියට ශකීබ් අල් හසන්, දිල්ශාන් මධුසංඛ, ට්‍රෙවින් මැතිව් සහ මොහොමඩ් සිරාස් ගේ දායකත්වයද හිමි වේ. පිතිකරණය දෙස බැලීමේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ඉබ්‍රාහිම් සද්‍රාන් රැස්කළ ලකුණු 95, Kandy කණ්ඩායමට එරෙහිව කමිල් මිෂාර සහ අවිශ්ක ප්‍රනාන්දු අතර පැවැති ලකුණු 129ක ආරම්භක සබඳතාව මෙන්ම පසුපෙළ පිතිකරු චමිඳු වික්‍රමසිංහගේ වේගවත් ලකුණු රැස්කිරීම් කැපී පෙනෙන ඉනිමවල් ලෙස දැක්විය හැකිය.
මූලික වටයේ තරඟ 8කින් ජයග්‍රහණ 5ක් වාර්තා කළ Galle Gallants කණ්ඩායම, කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 13ක ජයක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය තහවුරු කරගනු ලැබීය. Galle කණ්ඩායමේ නායක දසුන් ශානක සිය කණ්ඩායමේ සමබරතාවය සහ ඉනිමේ අවසාන භාගයේ වේගවත් ලකුණු වේගය පවත්වා ගැනීම සඳහා විශාල මෙහෙයක් ඉටුකර ඇත. Kandy කණ්ඩායමට එරෙහිව ඔහු නොදැවී රැස්කළ ලකුණු 57 එහිදී ඉතා විශිෂ්ට විය. මීට අමතරව එෂාන් මාලිංග, අකීෆ් ජාවෙඩ්, මොහොමඩ් නවාස්, තරිඳු රත්නායක සහ සචිඳු කොළඹගේ ඇතුළත් පන්දු යැවීමේ බලඇණිය ශානක විසින් මනාව කළමනාකරණය කර තිබේ. Galle කණ්ඩායමේ චරිත් අසලංක මහනුවරට එරෙහිව නොදැවී ලකුණු 70ක් සහ කොළඹට එරෙහිව ලකුණු 58ක් ලෙස පිට පිට අර්ධ ශතක ලබාගනිමින් ඉතාමත් ඉහළ දක්ෂතාවල පසුවේ. සහන් ආරච්චිගේ මැදපෙළ ශක්තිමත් කරන අතර දඹුල්ලට එරෙහිව චාමික කරුණාරත්න පන්දු 34කින් නොදැවී රැස්කළ ලකුණු 72 ද ඉතා වැදගත් වේ.
Colombo Kaps ට එරෙහිව Kandy Royals සටන
Jaffna Kings සමඟින් Galle Gallants තරග වදිද්දී අනෙක් පසින් තරගයට එලඹෙන්නේ Colombo Kaps කණ්ඩායම සහ Kandy Royals කණ්ඩායමයි. තරගාවලියේ වැඩි කාලයක් පෙරමුණේ සිටි කණ්ඩායමක් වන ඔවුන් මූලික වටය නිමා කළේ ජයග්‍රහණ හතරක් සමඟිනි. නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වුවද, කමිඳු මෙන්ඩිස් නායකත්වය භාරගනිමින් කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය. නායකත්වයට මනාව මුහුණ දුන් කමිඳු, දඹුල්ලට එරෙහිව පන්දු 39කින් නොදැවී ලකුණු 88ක් රැස්කරමින් තරගාවලියේ වාර්තා වූ විශිෂ්ටතම තනි ඉනිම ප්‍රදර්ශනය කළේය. මීට අමතරව ජනිත් ලියනගේ, රූබින් හර්මන්, සදීර සමරවික්‍රම සහ බෙන් මැක්ඩර්මට් ද කණ්ඩායම වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටුකළ අතර, ජීමි නීෂම් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද සිය දායකත්වය ලබා දී ඇත.
මූලික වටයේ ලකුණු ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය දිනාගනිමින් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමේ භාග්‍ය හිමිකරගත් අනෙක් කණ්ඩායම වන්නේ Kandy Royals කණ්ඩායමයි.
තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ළහිරු උදාර Galle කණ්ඩායමට එරෙහිව පන්දු 63කින් නොදැවී ලකුණු 132ක් රැස්කරමින් LPL ඉතිහාසයේ ඉහළම තනි ඉනිමේ වාර්තාව තැබීය.ලකුණු 209ක දැවැන්ත ඉලක්කයක් හඹාගොස් ජයග්‍රහණය කිරීමට එම ඉනිම හේතුවෙන් Kandy කණ්ඩායමට හැකිවිය. ආරම්භක තරඟ පරාජයන්ගෙන් පසුව කණ්ඩායම නැවත ස්ථාවර කිරීම සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් මැදපෙළ ශක්තිමත් කරනු ලැබුවේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද අවශ්‍ය දායකත්වය ලබා දෙමිනි. වනිඳු හසරංග, මොයින් අලී, විජේ ශංකර් සහ නුවන් තුශාර වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් Kandy කණ්ඩායම සතු ශක්තියයි.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ Qualifier 1 තරගය හරහා Jaffna සහ Galle කණ්ඩායම් දෙකටම අවසන් මහා තරඟයට පිවිසීම සඳහා අවස්ථා දෙකක් හිමිවන අතර, Colombo සහ Kandy අතර පැවැත්වෙන Eliminator තරගයෙන් පරාජය වන කණ්ඩායමට කිසිදු අත්වැරැද්දකට ඉඩක් නොතබා තරගාවලියෙන් සෘජුවම ඉවතට යාමට සිදුවේ. ඒ අනුව මෙම තරග වටයේදී ඉහළම දක්ෂතා පෙන්වන කණ්ඩායම් දෙක අවසන් තරගයට එක් වනු ඇත.


