
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි – මසකට ප්‍රධාන ශල්‍යකර්ම 1,000කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදු කරමින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂිත මෙන්ම විශේෂිත ශල්‍ය වෛද්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛතම මධ්‍යස්ථානය ලෙස සිය ස්ථාවරය Lanka Hospitals තවදුරටත් ශක්තිමත් කරමින් සිටී. ජාත්‍යන්තරව පිළිගත් සායනික ප්‍රමිතීන්, පළපුරුදු බහුවිධ වෛද්‍ය කණ්ඩායම් සහ විධිමත් සුවපත් වීමේ පටිපාටීන් ඒකාබද්ධ කරමින්, රෝග විනිශ්චයේ සිට ශල්‍යකර්මයන් දක්වාත්, අනතුරුව පූර්ණ සුවය ලබා නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසීම දක්වා ඉහළ විශ්වාසයකින් යුතුව මුහුණ දීමට රෝගීන්ට අවශ්‍ය පසුබිම රෝහල විසින් සලසා දීම එහි අරමුණයි.
හෘද හා ස්නායු ශල්‍යකර්ම සඳහා වෙන්වූ විශේෂිත පහසුකම් ඇතුළුව නවීන ශල්‍යාගාර 12ක් රෝහලේ ශල්‍ය වෛද්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පෙන්වයි. ඇඳන් 50කින් සමන්විත දැඩි සත්කාර ඒකක ජාලය, රෝහල තුල පිහිටා ඇති රුධිර බැංකුව සහ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර සේවාව මගින් සැලසුම් කළ මෙන්ම විශේෂිත වූ ශල්‍යකර්ම සඳහාද අවශ්‍ය සියලුම සායනික සහාය ලබා දෙයි. එසේම, ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ඖෂධ තොග පවත්වා ගැනීමට ද රෝහල කටයුතු කරන අතර, එමඟින් රෝගියෙකුගේ ශල්‍ය ප්‍රතිකාර ක්‍රියාවලිය තුළ ඇතිවිය හැකි ප්‍රමාදයන්ගේ අවදානම අවම කරයි..
රෝගී ආරක්ෂාව තහවුරු කිරීම ශල්‍යකර්මයට පෙර සිටම ආරම්භ වේ. ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් විසින් විධිමත් සායනික සැලසුම්කරණයක් හරහා සෑම රෝගී තත්ත්වයක්ම ඇගයීමට ලක් කරන අතර, ක්‍රමවත් ආරක්ෂක පියවරයන් අනුගමනය කරමින් ශල්‍යකර්මයෙන් පසු වේදනාව පාලනය කිරීම සඳහා උසස් ක්‍රමවේදයන් භාවිත කරයි. සායනිකව සුදුසු අවස්ථාවලදී, පටක වලට සිදුවන හානිය අවම කිරීමටත්, රෝහල් ගතවන කාලය අඩු කර රෝගීන්ට ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට යොමු වීමටත් උපකාරී වන අවම හානියක් සහිත ශල්‍ය තාක්ෂණයන් භාවිත කරනු ලබයි.
සිය විශේෂිත මධ්‍යස්ථාන හරහා Lanka Hospitals හෘද, විකලාංග, ස්නායු, අක්ෂි/පිළිකා, අවයව බද්ධ කිරීම් සහ බර සහ දියවැඩියා පාලන ශල්‍යකර්ම සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් උසස් පළපුරුද්දක් ගොඩනගාගෙන ඇත. රෝහල විසින් මේ වන විට හෘද ශල්‍යකර්ම 10,000කට අධික ප්‍රමාණයක් සහ හෘදාශ්‍රිත වෙනත් සැත්කම් 800කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව නිම කර ඇති අතර, එහි හෘද වෛද්‍ය කණ්ඩායම් මසකට ශල්‍යකර්ම සහ ප්‍රතිකාර 70කට වැඩි ප්‍රමාණයක් සිදු කරයි. විශේෂිත හෘද දැඩි සත්කාර පහසුකම් මගින් කිරීටක ධමනි බද්ධ කිරීම් (CABG), කපාට ශල්‍යකර්ම (Valve Surgery) සහ උපතින් ඇතිවන හෘද රෝග සඳහා වන ශල්‍යකර්ම ඇතුළු සංකීර්ණ ප්‍රතිකාර සඳහා උපරිම සහාය ලබා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන් 35කට වැඩි පිරිසකගෙන් සමන්විත රෝහලේ විකලාංග වෛද්‍ය කණ්ඩායම මේ වන විට දණහිස් සන්ධි බද්ධ කිරීමේ ශල්‍යකර්ම 3,000කට වඩා සිදු කර ඇත. විනිවිදභාවයෙන් යුත් සායනික ක්‍රියාවලීන් සහ දැඩි වෘත්තීය අචාරධර්ම මත පදනම් වූ එහි වකුගඩු බද්ධ කිරීමේ වැඩසටහන මගින් සාර්ථක බද්ධ කිරීම් 1,250කට අධික සංඛ්‍යාවක් වාර්තා කර ඇත. එසේම, ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක් මගින් වාර්තා කර ඇති වැඩිම ශල්‍යකර්ම සංඛ්‍යාව සනිටුහන් කරමින්, Lanka Hospitals විසින් මේ වන විට ස්ථූලතාවය අඩු කර ගැනීමේ ශල්‍යකර්ම වන බාරියට්‍රික් (Bariatric) ශල්‍යකර්ම 450කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති අතර, එමගින් දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් වැනි ස්ථූලතාවය ආශ්‍රිත රෝග තත්ත්වයන් පාලනය කර ගැනීමට සුදුසු රෝගීන්ට මහත් පිටුවහලක් වී ඇත.
ස්නායු හා කොඳු ඇට පෙළ ආශ්‍රිත ශල්‍යකර්ම ක්ෂේත්‍රයේදී මසකට කොඳු ඇට පෙළ සම්බන්ධ ශල්‍යකර්ම 100කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබයි. අවම සූක්ෂ්ම ශල්‍ය ක්‍රමවේද ලබන රෝගීන් රෝහල්ගතව පසුවන කාලසීමාව පැය 24කට පමණ සීමා කිරීමටද හැකියාව පවතී. පිළිකා ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් විසින් ළැම, තයිරොයිඩ්, පෙනහැලි සහ වෙනත් පිළිකා තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සැලසුම් සකස් කරනු ලබන්නේ රෝගය පාලනය කිරීමට පමණක් නොව, හැකි සෑම විටම රෝගියාගේ අවයවයන්හි ක්‍රියාකාරීත්වය සහ ජීවන තත්ත්වය සුරක්ෂිතව පවත්වා ගැනීමටද අවධානය යොමු කරමිනි.
Lanka Hospitals හි ශල්‍ය වෛද්‍ය කණ්ඩායම අදහස් දක්වමින් මෙසේ පැවසීය: “සාර්ථක ශල්‍ය වෛද්‍ය ප්‍රතිඵලයක් තීරණය වන්නේ ශල්‍යකර්මයෙන් පමණක් නොවේ. නිවැරදි රෝග විනිශ්චය, සූක්ෂම සැලසුම්කරණය, දැඩි ආරක්ෂිත පටිපාටි සහ පූර්ණ සුවය ලබන කාලය තුළ සිදුකරන සමීප නිරීක්ෂණය මත එය පදනම් වේ. සෑම රෝගියෙකුටම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට, සෞඛ්‍යමය අවදානම්වලට සහ පෞද්ගලික අවශ්‍යතාවලට වඩාත්ම ගැලපෙන සේවාව ලැබෙන බව තහවුරු කිරීම සඳහා අපගේ කණ්ඩායම් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එක්ව කටයුතු කරයි”
බොහෝ රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ප්‍රතිකාර සඳහා යන පිරිවැය පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය, දුෂ්කර අවස්ථාවකදී අමතර පීඩනයක් විය හැකිය. Lanka Hospitals හි ශල්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය (Surgical Hub) මගින් පූර්ව මූල්‍ය මාර්ගෝපදේශනයක් සහ අපේක්ෂිත ගාස්තු පිළිබඳ පැහැදිලි විස්තරයක් ලබා දෙන අතර, එමගින් රෝහල් ගතවීමට පෙර තොරතුරු දැනුවත්ව තීරණ ගැනීමට රෝගීන්ට අවස්ථාව හිමිවේ. මීට අමතරව, රෝහලේ පැය 24 පුරා ක්‍රියාත්මක 0117 145 145 Doc Help Line සේවාව මගින් සෞඛ්‍ය ගැටලු සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස් සෘජුවම ලබා ගැනීමට මහජනතාවට පහසුකම් සලසා ඇත.
ශල්‍යකර්මයෙන් පසු සත්කාර සේවාවන් සංවිධානය කරනු ලබන්නේ එක් එක් රෝගියාගේ තත්ත්වයට අනුකූලවය. රෝගීන් සහ නිවසේදී ඔවුන්ට සත්කාරක කරන්නන්, සුවපත් වීමේ ක්‍රියාවලිය සඳහා සූදානම් කරන අතරම, සායනික කණ්ඩායම විසින් වේදනා පාලනය, චලන හැකියාව, පෝෂණය සහ ඇති විය හැකි සංකූලතාවයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරයි. මෙම ක්‍රමවේදය මඟින් වළක්වා ගත හැකි නැවත රෝහල් ගතවීම් අවම කිරීමත්; ඖෂධ භාවිතය, පසු විපරම් සත්කාර (Follow-up care) සහ වෛද්‍ය අවධානය යොමු කළ යුතු පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණ පිළිබඳව රෝගීන් දැනුවත් කිරීමත් මෙම ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණයි.
එසේම, Lanka Hospitals වෙතින් විශේෂිත ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසකට මෙරටට පැමිණෙන විදේශීය රෝගීන් 50කට වැඩි සංඛ්‍යාවකට ඇතුළුව, දිනෙන් දින ඉහළ යන විදේශීය රෝගීන් සංඛ්‍යාවකට රෝහල සේවය සපයයි. එහි ජාත්‍යන්තරව ඇගයීමට ලක්වූ ප්‍රමිතීන්, විවිධ ශල්‍ය වෛද්‍ය විශේෂඥතාවයන් සහ විධිමත් රෝගී සත්කාරක සේවාවන් මගින්, උසස් සෞඛ්‍ය සේවාවන් සඳහා කලාපීය වශයෙන් විශ්වාසදායක මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට Lanka Hospitals නොකඩවා දායක වේ.


