
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපළ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන First Capital Holdings PLC සමාගම First Capital Treasuries PLC (FCT) සමඟ එක්ව, පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක Sri Lanka Climate Fund (Pvt) Ltd මගින් 2025/26 මූල්‍ය වර්ෂය (2025 අප්‍රේල් 01 – 2026 මාර්තු 31) සඳහා පිරිනමන ලද හරිතාගාර වායු (GHG) විමෝචන සත්‍යාපන සහතිකය (Opinion No: SLCF/CFP/0581, දිනය: 2026 ජූනි 04) හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.
හරිතාගාර වායු පිළිබඳ මෙම වාර්තාව ISO 14064-1:2018 හි නියමයන්ට අනුකූලව සහ ISO 14064-3:2019 හි විධිවිධාන අනුව, පිළිගත හැකි මට්ටමේ සහතික කිරීමක් සහිතව ස්වාධීනව තහවුරු කර ඇත.
ප්‍රාග්ධන වෙළඳපොළ සමාගමක් ලෙස First Capital හි ‘Financed Emissions’ මට්ටම සමාගමේ සමස්ත විමෝචන මට්ටමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරයි. First Capital එහි හරිතාගාර වායු වාර්තා සඳහා මෙම විමෝචන ගණනය කිරීම සහ ඇතුළත් කිරීම සඳහා සාර්ථක ලෙස පියවර ගනිමින් සිටී. ආයෝජන තුළින් පැනනගින විමෝචනයන් මෙහිලා නිර්වචනය කරන ලද ආයතනික තක්සේරු සීමාවෙන් බැහැර කර ඇත. 2025/26 මූල්‍ය වර්ෂය තුළ තහවුරු කරන ලද විමෝචන මට්ටම් First Capital Holdings PLC සඳහා කාබන් ඩයොක්සයිඩ් සහ ඊට සමාන වායු ටොන් 194 ක් සහ First Capital Treasuries PLC සඳහා කාබන් ඩයොක්සයිඩ් සහ ඊට සමාන වායු ටොන් 54 ක් ලෙස වාර්තා වී තිබේ.
First Capital හි තිරසාරත්ව ඉලක්කවලට පදනම් වී ඇත්තේ, දීර්ඝකාලීන සාර්ථකත්වය අත්කරගැනීමට හැකි වන්නේ මූල්‍ය සාක්ෂරතාව සහ වගකීම්සහගත සමාජීය හා පාරිසරික පරිචයන් තුළින් ජනතාව සවිබලගැන්වීමෙන් බවට වන විශ්වාසයයි. එහි න්‍යාය පත්‍රය තුළ වැඩි වශයෙන්ම අවධානය යොමුවන්නේ පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට, ආර්ථික ශක්තිය ගොඩනංවා ගැනීමට සහ ජාතික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වීමට හැකි වන කාරයට මූල්‍ය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙනි.
මීට සමගාමීව ප්‍රජා සහභාගීත්වය, ක්‍රියාකාරකම් සහ පාරිසරික ආරක්ෂාව යන අංශ යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්, තිරසාර වර්ධනයක් අරමුණු කරගත් වඩාත් සමබර ප්‍රවේශයක් අනුගමනය කිරීම සඳහා සමාගමට මහෝපකාරී වෙයි. මූල්‍ය සාක්ෂරතාව සහ තිරසාරත්වය සිය මූලික ක්‍රමෝපායන්ට ඇතුළත් කරගැනීම ඔස්සේ මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වුණු, පරිසර හිතකාමී දේශයක් නිර්මාණය කිරීම සමාගමේ අපේක්ෂාව වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල ප්‍රමුඛතම සමාගමක් ලෙස, දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය යනු පාරිසරික භාරකාරත්වය සහ ශක්තිමත් ආයතනික යහපාලනය සමඟ සමීපව බැඳී ඇති දෙයක් බව First Capital සමාගම විශ්වාස කරයි. සමාගමේ හරිතාගාර වායු විමෝචනය සත්‍යාපනය කිරීම එහි පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන (ESG) න්‍යාය පත්‍රයේ යහපත් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, එමඟින් රට තුළ වඩාත් තිරසාර මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් ගොඩනැංවීම සඳහා සමාගම ලබාදෙමින් සිටින දායකත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙම සහතිකකරණය පිළිබඳව අදහස් දක්වමින් First Capital Holdings PLC හි තිරසාරත්වය සහ ආයතනික වාර්තාකරණය පිළිබඳ ප්‍රධානී දිලුනි දනුෂිකා මහත්මිය මෙසේ පැවසුවාය: “මෙය විනිවිදභාවයෙන් යුත් පාරිසරික වාර්තාකරණය, වගවීම සහ තත්වයන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා අප දක්වන කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. වගකීම්සහගත ආයෝජන සමාගමක් ලෙස, දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය සඳහා ශක්තිමත් පාරිසරික භාරකාරත්වයක් සහ ආයතනික පාලනයක් අවශ්‍ය බව අපගේ විශ්වාසයයි. තිරසාරත්වය අපගේ මෙහෙයුම්වල සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්කර ගැනීම තුළින්, රට තුළ වඩාත් ශක්තිමත් හා තිරසාර මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් ගොඩනැංවීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට අප බලාපොරොත්තු වනවා.”
පරිසරය කෙරෙහි වගකීම්සහගත ලෙස කටයුතු කිරීම සහ විනිවිදභාවයෙන් යුතුව වාර්තාකරණය සිදුකිරීම සඳහා First Capital දක්වන උනන්දුව හා කැපවීම පිළිබිඹු කරන මෙම පිළිගැනීම, සමාගමේ ESG පාලන රාමුව කෙරෙහි පාර්ශ්වකරුවන් තුළ ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය.
ISO 14064 ප්‍රමිතීන් යටතේ මෙම විමෝචන සහතිකකරණය හිමි වීම තුළින්, වගකීම්සහගත ආයතනික පාලනය සහ තිරසාරත්වය ඔස්සේ රට තුළ වඩාත් තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයක් බිහිකිරීම සඳහා First Capital ඉටුකරමින් සිටින පුරෝගාමී මෙහෙවර තවදුරටත් ශක්තිමත් වනු නිසැකය.


