විනයගරුක මූල්‍ය කළමනාකරණය, විචක්ෂණශීලී අවදානම් අධීක්ෂණය සහ තම ප්‍රධාන ව්‍යාපාරික අංශයන්හි තිරසාර වර්ධනය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට SDB බැංකුව සමත්ව ඇත.
ඒ අනුව, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 7% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 60 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට බැංකුව සමත්ව තිබේ. මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, විචක්ෂණශීලී උපායමාර්ගික ක්‍රියාත්මක කිරීම් මෙන්ම කෘෂිකර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME), සමුපකාර සහ ව්‍යාපාරික බැංකුකරණ වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකාර අත්තිකාරම් වර්ධනය වීම මෙම කාර්යසාධනය සඳහා මූලික වශයෙන් දායක වී ඇත.
තම අරමුදල් නොවන ආදායම් මාර්ග ශක්තිමත් කිරීමෙහිලා SDB බැංකුව අත්කරගෙන ඇති ප්‍රගතිය මනාව පිළිඹිබු කරමින්, සමාලෝචිත කාර්තුව තුළ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 29% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 152 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සේවා ශක්‍යතාවන් පුළුල් කිරීම, ඩිජිටල් තාක්ෂණික භාවිතය ඉහළ නැංවීම සහ ගනුදෙනුකාර-කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් හඳුන්වා දීම හරහා ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීමට බැංකුව ගන්නා අඛණ්ඩ උත්සාහය මෙම වර්ධනයෙන් පෙන්නුම් කෙරේ.
එසේම, මෙම කාලසීමාව තුළදී SDB බැංකුව සිය ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්ත්වය ද ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සමත්ව ඇත. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 15.15% ක් ලෙස සටහන් වූ අතර, එය නියාමන අවම අවශ්‍යතාවයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමකි. මේ අතර, ද්‍රවශීලතා ආවරණ අනුපාතය 145.08% ක් ලෙසත්, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය 136.97% ක් ලෙසත් ශක්තිමත්ව පවත්වාගෙන ගොස් ඇත. මෙමඟින් අනාගත වර්ධනයන් සඳහා අත්වැලක් වෙමින් සිය ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුව සතු හැකියාව තවදුරටත් තහවුරු කරයි.
මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය: “2026 වසරේ පළමු කාර්තුවේ අපගේ කාර්යසාධනය මඟින් මනා අවදානම් කළමනාකරණය, මෙහෙයුම් කේන්ද්‍රීය අවධානය සහ ගනුදෙනුකාර වටිනාකම් වෙනුවෙන් වූ අපගේ කැපවීම මත පදනම් වූ විනයගරුක බැංකුකරණ ප්‍රවේශයේ ශක්තිමත්භාවය මනාව පෙන්නුම් කරනවා. ගාස්තු පදනම් කරගත් ආදායමේ අඛණ්ඩ වර්ධනය සහ අපගේ ප්‍රාග්ධන හා ද්‍රවශීලතා තත්ත්වයේ නම්‍යශීලී ස්ථාවරත්වය පිළිබඳව අප බෙහෙවින් දිරිමත් වනවා. ඉදිරියට යන ගමනේදී, වඩාත් ඔරොත්තු දෙන, සියලු දෙනා ඇතුළත් කරගත් සහ අනාගතයට සූදානම් බැංකුවක් ගොඩනඟන අතරතුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමුපකාර, කෘෂිකර්මාන්තය, ව්‍යාපාර ගනුදෙනුකරුවන් සහ බැංකු සේවා නිසි ලෙස නොලැබෙන ප්‍රජාවන් සවිබල ගැන්වීම කෙරෙහි SDB බැංකුව අඛණ්ඩව අවධානය යොමු කරනවා.”
මෙම කාර්තුව තුළදී SDB බැංකුව පරිසර හිතකාමී මූල්‍යකරණය, අන්තර්කරණය වූ බැංකුකරණය, කාන්තා ව්‍යවසායකත්වය සහ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සිය තිරසාරත්ව ප්‍රමුඛතාවන් තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. දිවයින පුරා විහිදුණු ශාඛා 94ක ජාලයක් සතු SDB බැංකුව, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට දායක වන මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් සැමවිටම කැපවී සිටියි.


