ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය, වෘක්ෂලතා වල නාමපුවරු සවි කර මහජනතාව වෙත ප්‍රදර්ශනය කරමින් කොළඹ පාරිසරික සංරක්ෂණ කලාප නිර්මාණය කරයි

KDM_1886 (LBN)

-සංරක්ෂණ ව්‍යාපෘති පුළුල් කරමින් නාගරික වෘක්ෂලතා පිළිබඳව සමාජ අවබෝධය වර්ධනය කරයි –

ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය (Rainforest Trust of Sri Lanka – RToSL) විසින්, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි  ඇවිදින මංතීරුව දෙපස ඇති වෘක්ෂලතා වල නාමපුවරු සවි කොට, එය මහජනතාව වෙත ප්‍රදර්ශනය කරමින් පාරිසරික සංරක්ෂණය පිළිබඳ අධ්‍යාපනික හා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි මස 13 දින  නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ සංවේදී වැසිවනාන්තර සහ පරිසර පද්ධතීන් සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංක වැසි වනාන්තර භාරය, 2004 වසරේදී ලියාපදිංචි කරන ලද පොදු භාරකාර ආයතනයකි.



මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පරිසරවේදීන්, පරිසර ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන විද්වතුන්, විශ්වවිද්‍යාල  සිසුන්, මාධ්‍යවේදීන් සහ මහජනතාව ඇතුළුව 150 කට අධික පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, එය ග්‍රාමීය හා නාගරික පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය ඉටු කරනු ලබන කාර්යභාරය මැනවින් ඉස්මතු කළේය.

මෙම වැඩසටහනේදී ගස්වල නාම පුවරු නිල වශයෙන් මහජනතාව වෙත ප්‍රදර්ශනය කරනු  ලැබූ අතර, එමඟින් කොළඹ නගරයේ සියවසකට අධික ඉතිහාසයක් සහිත වටිනා වෘක්ෂ සම්පත ආරක්ෂා කිරීම සඳහා වැසි වනාන්තර භාරය විසින් දක්වනු ලැබූ විශාල කැපවීම මනාව විදහා දැක්වුණි. නාගරික ප්‍රදේශවල බොහෝවිට අවධානයට ලක් නොවන වෘක්ෂලතා සම්පත සමඟ ප්‍රජාවන් නැවත සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

මෙම දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතිය හරහා පරිසර සංරක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳ පණිවිඩය කොළඹ වෙසෙන නාගරික ප්‍රජාව වෙත රැගෙන යාම කෙරෙහි මෙම සංරක්ෂණ භාරය මෑතකදී සිය අවධානය යොමු කර ඇත. එසේම, ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය උපායමාර්ගික වශයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සහ පරිසර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා සිය සංරක්ෂණ කටයුතු අඛණ්ඩව පුළුල් කරනු ලබයි.

මෙම මෙහෙවරට දායකත්වය දක්වමින් හැටන් නැෂනල් බැංකුව (HNB), ගස් 52ක් සඳහා නාම පුවරු නිර්මාණය කිරීමට සිය අනුග්‍රහය දැක්වීය. එම දායකත්වය මඟින් පරිසරය පිළිබඳව ප්‍රජාවන් දැනුම්වත් කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව දක්වනු ලබන කැපවීම පිළිබිඹු වූ අතර, එය මෙම ව්‍යාපෘතියේ ප්‍රචාරණය හා මහජන අවධානය තවදුරටත් වර්ධනය කිරීමටද දායක විය.

මෙහිදී නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඇවිදින මංතීරුව දෙපස ඇති ශාඛ විශේෂ 52ක් සඳහා විද්‍යාත්මක නාමයන් සහිතව නිර්මාණය කරන ලද නාම පුවරු මහජනතාව වෙත ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම නාම පුවරු දැව කැබලි කොටස් උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති අතර, ඒවායේ අදාළ වෘක්ෂයන්ගේ නම් සහ උද්භිද විද්‍යාත්මක නාමයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම සඳහන් කර තිබීම විශේෂත්වයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අංශයට අනුබද්ධ උද්භිද විද්‍යා සංගමය විසින් ඇවිදීමේ මංතීරුවේ පිහිටි විවිධ ශාක විශේෂ හඳුනාගෙන ඇති අතර, එම හඳුනාගැනීම් මත පදනම්ව නාම පුවරු සකස් කර ඇත.

මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස, හඳුනාගත් ශාක විශේෂවල පාරිසරික වැදගත්කම පිළිබඳව සිසුන් විසින් මෙහෙයවනු ලැබූ සාකච්ඡා පැවැත්වුණු අතර, ප්‍රවීණ පරිසරවේදීන් විසින් ශ්‍රී ලංකාවේ ජෛව-සංස්කෘතික උරුමය පිළිබඳව ද වැදගත් දේශන පවත්වන ලදී. තවද, LED තිරයක් මඟින් ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය විසින් සංරක්ෂණය කරනු ලබන වනාන්තර කලාප පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරනු ලැබූ  අතර, නාගරික ප්‍රජාවන් තුළ ‘ශාක පිළිබඳව අවබෝධය’ තවදුරටත් වර්ධනය කිරීම සඳහා එම සංරක්ෂණ භාරය විසින් ක්‍රියාත්මක කරන මෙහෙවර ඒ තුළින් පෙන්නුම් කෙරිණි.

2004 වර්ෂයේ සිට, මෙම භාරය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ අත හැර දමා ඇති තේ වගා ඉඩම් (2004–2007) සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අත හැර දමා ඇති හේන් බිම් (2016–2024) අත්පත් කරගෙන ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අඛණ්ඩව සිදු කරන ලද සංරක්ෂණ කටයුතු හරහා, මෙම ඉඩම් නීති විරෝධී දැව ජාවාරම්, වාණිජ වගාවන් සඳහා එළිපෙහෙළි කිරීම්, අවිධිමත් ගව පාලනය සහ අනවසර මැණික් ගැරීම වැනි ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කරමින් ස්වභාවිකව වනාන්තර ලෙස නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ සලසා ඇත. මෙම සංරක්ෂණය හේතුවෙන්, එම ප්‍රදේශ දෙකෙහිම වටිනා වනාන්තර පරිසර පද්ධති ක්‍රමිකව ප්‍රතිස්ථාපනය වීමට මඟ පෑදී තිබේ.

උඩකිරුව වන සංරක්ෂණ ව්‍යාපෘතිය, සිංහරාජ වැසිවනාන්තරයට සමාන ජෛව විවිධත්වයකින් යුක්ත කලාපයක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත. මෙම වන සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් වැලි මුවා (Weli Mua), කළු වඳුරන් (Purple-faced Leaf Monkeys), මෙන්ම කැහි බෙල්ලා (Blue Magpie) සහ ලංකා අරංගයා (Sri Lanka’s Whistling Thrush) වැනි දුර්ලභ ගණයේ සතුන් හා පක්ෂීන් ඇතුළු මෙරටට ආවේණික ශාක හා සත්ත්ව විශේෂවල වාසස්ථාන සුරක්ෂිත කෙරේ.

මීට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කයේ අත්පත් කර ගනු ලැබූ භූමි සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටා ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් ශ්‍රී ලංකාවේ අවසානයට ඉතිරිව ඇති මධ්‍යම කඳුකර වැසිවනාන්තර කිහිපයකට පෝෂණය සලසන උඩකිරුව නිම්නය තුළ පිහිටා ඇත.

නාගරීකරණය සහ වන විනාශය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති මෙරටට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ සඳහා මෙම කලාපයන් වර්තමානයේ අත්‍යවශ්‍ය ආරක්ෂිත කලාප ලෙස හඳුනාගෙන ඇත. බද්දේගම, නෙළුව, හිනිදුම සහ උඩකිරුව යන ප්‍රදේශයන්හි පිහිටි වනාන්තර කොටස් අඛණ්ඩව ස්වාභාවිකවම නැවත රෝපණය වෙමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ජෛව-සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දේ.

දකුණු පළාතේ පිහිටි බද්දේගම, නෙළුව සහ හිනිඳුම ප්‍රදේශවල මෙන්ම, උව පළාතේ උඩකිරුව ප්‍රදේශයේ ප්‍රතිෂ්ඨාපනය කර සංරක්ෂණය කරන ලද වනාන්තර කලාප, වර්තමානයේදී සාමාන්‍ය ද්විතීක වනාන්තර පරිසර පද්ධතිවලට වඩා උසස් මට්ටමක් දක්වා වර්ධනය වී ඇති වනාන්තර බවට පත්ව ඇත. සශ්‍රීකව වර්ධනය වන මෙම වන බිම්, ශ්‍රී ලංකාවට ආවේණික වූ සුවිශේෂී ශාක හා සත්ත්ව ප්‍රජාවන් වෙත සුදුසු ආරක්ෂිත වාසස්ථාන ලෙස පවතිනු ඇත. නාගරීකරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම හේතුවෙන් එම ජීවී විශේෂ රැසකට ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන අහිමි වී ඇති අතර, ඒ අනුව මෙම ව්‍යාපෘති, රටේ ස්වාභාවික උරුමයන් සුරක්ෂිත කිරීමට සහ පාරිසරික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දේ.

මෙම භාරයේ සංරක්ෂණ කටයුතුවල දිගු කාලීන පැවැත්ම සහ ශක්තිමත්භාවය තහවුරු කරමින්, එහි සියලුම කාර්යභාරයන් මේ දක්වා සිදු කරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ පිහිටි Rainforest Concern ආයතනයේ ප්‍රධාන දායකත්වයෙන් සහ දේශීයව රැස් කරගනු ලබන අරමුදල් වල සහයෙනි.

ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරයේ සභාපති, වජිරා සිල්වා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. ”කොළඹ නගරයේ ගස්වැල් සමඟ මිනිසුන් මෙතරම් ගැඹුරින් සම්බන්ධ වන ආකාරය දැකීම, සොබාදහමට අපව එකමුතු කළ හැකි බව විදහා දැක්වෙන ශක්තිමත් සිහිපත් කිරීමකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලබන්නේ අරමුදල් රැස් කිරීමට නොවේ. එය අධ්‍යාපනය, දැනුම්වත්භාවය සහ ශ්‍රී ලංකාවේ ජෛව-සංස්කෘතික උරුමය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගනු ලබන සාමුහික වගකීමක්.”

‘ගස් නම් කිරීම’ වැනි වැඩසටහන් සහ අඛණ්ඩව ක්‍රියාත්මක වන බිම් රෝපණ ව්‍යාපෘති මඟින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය මහජනතාව දිරිමත් කිරීමට, තරුණ ප්‍රජාව ඒ වෙත සක්‍රීයව දායක කරගැනීමට සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. ඒ තුළින් රටේ වැසි වනාන්තර අනාගත පරපුර සඳහා ජීවමාන උරුමයන් ලෙස පවත්වා ගැනීමට හැකිවනු ඇත.

වැඩි දුර තොරතුරු සඳහා www.rainforest-trustlk.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව