
2026 මාර්තු 17, අඟහරුවාදා, ශ්‍රී ලංකාවේදී: ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI), ජාත්‍යන්තර අංශය වන NPCI International (NIPL) ආයතනය, ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම සඳහා වන සිය කැපවීම නැවත අවධාරණය කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් කිරීම පහසු කිරීමට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමට සහ දෙරට අතර පවතින ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කරයි.
ඉන්දියාවේ UPI යනු ජංගම දුරකථන යෙදුම් (Mobile Apps) හරහා ක්ෂණිකව සහ ආරක්ෂිතව මුදල් ගෙවීමට හැකි පද්ධතියකි. මසකට මූල්‍ය ගනුදෙනු බිලියන 20 කට වඩා සිදුකරන මෙය ලොව දියුණුතම ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ලෙස සැලකේ. ඉන්දියාව පුරා ස්ථාන මිලියන 700කට වැඩි ගණනක භාවිතා වන මෙම පද්ධතිය, එහි ඇති නම්‍යශීලී බව නිසා ශ්‍රී ලංකාවේ LankaQR ජාලය ඇතුළු වෙනත් ජාත්‍යන්තර ගෙවීම් පද්ධති සමඟ ද ඉතා පහසුවෙන් සම්බන්ධ කළ හැකිය.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. 2024 වසරේදී ඉන්දියානු සංචාරකයින් 416,000ක් පැමිණි අතර 2025 දී එය 531,000 දක්වා වර්ධනය වී ඇත. වසරින් වසර මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යන බැවින්, පහසුවෙන් හා විශ්වාසදායක ලෙස ගෙවීම් කළ හැකි ක්රමවේදයක අවශ්‍යතාවය බෙහෙවින් වැදගත් වී ඇත. නිවාඩු ගත කිරීමට, විවාහ මංගල්‍යයන් සහ සාප්පු සවාරි සඳහා වැඩි වශයෙන් ඉන්දියානු සංචාරකයින් මෙරටට පැමිණෙන බැවින්, ඔවුන්ට අවශ්‍ය ගෙවීම් පහසුවෙන් සහ ආරක්ෂිතව කර ගැනීමට පහසුකම් සැලසීම ඉතා වැදගත් වේ.
NPCI International සහ LankaPay ඛ්බන්ඡ්හ ආයතන අතර පවතින මෙම සහයෝගීතාවය හරහා, ඉන්දියානු සංචාරකයින්ට ඔවුන්ගේ UPI පහසුකම සහිත ජංගම යෙදුම් මඟින් ඕනෑම LankaQR කේතයක් ස්කෑන් කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් ගෙවීම් කළ හැකිය. මේ නිසා ඔවුන්ට අතේ මුදල් රැගෙන යාමට හෝ මුදල් හුවමාරු කිරීමට අවශ්‍ය නොවේ. දැනටමත් Cinnamon හෝටල් ජාලය, Taj හෝටල් සමූහය, Barista, Keells සුපිරි වෙළඳසැල් හා Odel වැනි ප්රමුඛ පෙළේ හෝටල් සහ ව්‍යාපාරික ස්ථානවල මෙම පහසුකම ක්‍රියාත්මක වේ. මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට NIPL, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට බැංකු සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ පවතින ගෙවීම් පද්ධතිවලට අනුකූල වන පරිදි UPI ගෙවීම් පහසුකම තවදුරටත් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණයි.
මෙම ක්‍රමය සංචාරකයින්ට මෙන්ම මෙරට ව්‍යාපාරිකයින්ට ද වාසිදායක වේ. සංචාරකයින්ට ඔවුන්ගේ ඉන්දියානු බැංකු ගිණුම්වලින් සෘජුවම ගෙවීම් කළ හැකි අතර, විනිමය අනුපාත ද පැහැදිලිව දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ට නවීන තාක්ෂණය භාවිතා කරන පාරිභෝගිකයින් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමටත්, මුදල් පරිහරණය පහසු කර ගැනීමටත් සහ මුදල් හා කාසි භාවිතය අවම කරමින් දෛනික ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂම සිදු කිරීමටත් මෙමගින් අවස්ථාව හිමි වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් NPCI International හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී රිතේෂ් ශුක්ලා මහතා පැවසුවේ, “තාක්ෂණය හරහා රටවල් එකිනෙකට සමීප කිරීමට NPCI International කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ වන අපගේ මෙම සම්බන්ධතාවය මඟින් පෙන්නුම් කරන්නේ ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම, මිලියන සංඛ්‍යාත ජනතාවකට සංචාරය සහ වෙළඳාම පහසු කිරීම මෙන්ම මෙරට ව්‍යාපාරවලට සහ සමස්ත ආර්ථිකයට ප්රතිලාභ ලබා දීම සඳහා දෙරටේම ඒකායන අරමුණයි. LankaPay සමඟ එක්ව ඔවුන් හඳුන්වා දෙන මෙම ආරක්ෂිත හා වේගවත් ගෙවීම් ක්‍රමය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙනි.
UPI පද්ධතිය තවදුරටත් ව්‍යාප්ත වන විට හෝටල්, වෙළඳසැල් සහ අනෙකුත් සංචාරක සේවාවන් වෙත මෙම පහසුකම ලබා දීමට NIPL ආයතනය ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත. ලොව පුරා සිදුවන ක්ෂණික ගෙවීම්වලින් 49%ක්ම සිදුකරන ලොව විශාලතම ගෙවීම් පද්ධතිය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් UPI පද්ධතිය පිළිගෙන ඇත. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ඉන්දියානු සංචාරකයින්ට උසස් සේවාවක් සැපයීමටත්, දෙරට අතර වෙළඳාම දියුණු කිරීමටත් ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
වැඩි විස්තර සඳහා https://www.nipl.com/වෙත පිවිසෙන්න


