
මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නවීන තාක්ෂණය භාවිතා කරන අඹේවල කිරි ගොවිපළේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පසුගියදා එහි සංචාරයක නිරත විය. අඹේවෙල සමාගමේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන දියත් කරනු ලබනවා. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට කිරි නිෂ්පාදන ක්‍රියාවලිය නගා සිටුවීමට කිරි ගොවීන්හට නොමිලේ කිරි ගවයින් බෙදාදීමේ වැඩසටහනට සහභාගී වීම සහ අඹේවල ගොවිපළ තුළ ක්‍රියාත්මක වන පුළුල් සංවර්ධන ක්‍රියාවලිය සමාලෝචනය කිරීමයි.
අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී අඹේවල කිරි ගොවිපොළේ කළමනාකාර කමිටුව සහ කාර්ය මණ්ඩලය විසින් එතුමාව උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. එහිදී ගොවිපොළ පරිශ්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, නව සංවර්ධන මුලපිරීම් හරහා අත්කරගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණ සහ ජාතික ආර්ථිකයට එමඟින් ලැබෙන දායකත්වය අගය කළේය.
මෙම අවස්ථාවේදී කළමනාකාර කමිටුව විසින් 1943 වසරේ ආරම්භ කර 2001 වසරේදී පෞද්ගලීකරණය කළ අඹේවල ගොවිපළේ පරිවර්තනීය ගමන් මඟ පැහැදිලි කරන ලදී. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියක් ඔස්සේ අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ දියුණුතම කිරි නිෂ්පාදන සහ පශු තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස මෙය ස්ථාපිත වී ඇති ආකාරය එහිදී අවධාරණය කෙරිණි. එසේම ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා අමාත්‍යවරයා ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද කණ්ඩායම සිය කෘතඥතාව පළ කළහ.
මෙම සංචාරයට සමගාමීව, අමාත්‍යවරයා සමඟ LMF සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපතිනී ස්ටෙෂානි ජයවර්ධන මහත්මිය සහ ප්‍රධාන විධායක නිලධාරී සසංක පෙරේරා මහතා එක්ව රුපියල් මිලියන 15ක් වටිනා උසස් වර්ගයේ දෙනුන් 10 දෙනෙකු, තෝරාගත් දේශීය ගොවීන් දසදෙනා වෙත පරිත්‍යාග කරන ලදී. අඹේවල ගොවිපොළේ අභිජනනය කරන ලද, දිනකට කිරි ලීටර් 38ක සාමාන්‍ය අස්වැන්නක් ලබා දෙන මෙම දෙනුන් ලබා දීමේ අරමුණ වූයේ දේශීය ගොවීන්ගේ කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමයි.
පශු සම්පත් කළමනාකරණය, පූර්ණ ස්වයංක්‍රීයකරණය කිරීම සහ උසස් වර්ගයේ කිරි දෙනුන් අභිජනනය කිරීම හේතුවෙන් 2025 වසරේදී අඹේවල ගොවිපොළ වාර්ෂිකව කිරි ලීටර් මිලියන 23.5ක නිෂ්පාදන සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ගොවිපොළේ දෛනික කිරි නිෂ්පාදනය මේ වන විට ලීටර් 65,000 ක් වනවා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, “රටක් ලෙස කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සහ ආනයනික කිරි පිටි මත යැපීම නතර කිරීම රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද වගකීමක් වන බවයි. ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී මෙය රටට මහත් ශක්තියක් වනවා. පෞද්ගලීකරණයෙන් පසු අඹේවල ගොවිපොළ අත්කරගෙන ඇති දියුණුව පිළිබඳව මම සතුටු වන අතර, කිරි කර්මාන්තයේ අනාගත වර්ධනය සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන බවයි.”
LMF සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපතිනී ස්ටෙෂානි ජයවර්ධන මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, රජය විසින් ලබා දෙන මෙම සහයෝගය කිරි කර්මාන්තය කෙරෙහි පවතින විශ්වාසය සහ දැක්ම පිළිබඳ ප්‍රබල පණිවුඩයක් වන බවයි. රටේ පෝෂණ මට්ටම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙන්ම ගොවීන් බලගැන්වීමට තමන් කැපවී සිටින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
එමෙන්ම LMF සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සසංක පෙරේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, නවීන තාක්ෂණය හා යාන්ත්‍රික ක්‍රියාවලීන් ඔස්සේ නිෂ්පාදන ඉලක්ක සපුරා ගනිමින් කෘෂිකර්මාන්තයට උපරිම දායකත්වයක් ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන නිරතුරුවම කරන බවත් අමාත්‍යවරයාගේ සහයෝගය සහ මඟ පෙන්වීම යටතේ අපගේ ඉදිරි ඉලක්ක සපුරා ගනිමින් රටේ දේශීය කිරි නිෂ්පාදනයට අපගේ දායකත්වය තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළා.
නිෂ්පාදන කටයුතුවලට අමතරව, අඹේවල ගොවිපොළ මෙරට විශ්වවිද්‍යාල සිසුන් සඳහා පර්යේෂණ හා ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද විවෘතව පවතී. එමෙන්ම මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වන අතර, මේ වසරේ එක් දිනකදී පමණක් සංචාරකයින් 10,000ක් පැමිණීම විශේෂත්වයක්. අඹේවෙල නිෂ්පාදන සහ අඹේවෙල ගොවිපොළ පිළිබඳව පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය මෙයට නිදසුනක්. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන අඹේවෙල නිරන්තරයෙන් වඩාත් දියුණු තාක්ෂණය සහ ක්‍රමෝපායන් හඳුන්වා දෙමින් දේශීය කර්මාන්තයට තවත් වැඩි දායක්වයක් ලබාදීමට කැපවී සිටිනවා. අමාත්‍යවරයා ලබාදෙන සහය මඟපෙන්වීම සඳහා අඹේවෙල කළමණාකාරීත්වය කෘතඥතාව පළ කරන අතර අමාත්‍යවරයා සහ රජය දක්වනු ලබන දායකත්වය අගය කර සිටිනවා.


