
වර්ෂ 1986දී එමිල් ස්ටැනිලි මහතා සහ ඔහුගේ බිරිඳවන එස්.එම්.ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය හංවැල්ල ප්‍රදේශයේ ඉදිකළ සිය ගොවිපොළේ කුකුළු පැටවුන් 1000ක් සමඟින් සිය ව්‍යාපාරය ඇරඹීමේදී ඔවුන් සතුව තිබුණේ එක් සිහිනයක් පමණි. ඒ තමන්ගේ අවට වෙසෙන ජනතාවට උසස් ගුණාත්මකබවින් යුතු සහ සෞඛ්‍යමත් කුකුළු මස් නිෂ්පාදන සැපයීමයි. එසේ ඉතා කුඩාවට ආරම්භ වූ ව්‍යාපාරය අද වනවිට රට තුළ දැවැන්ත වෙනෙසකට මුලපිරූ විශිෂ්ට ව්‍යාපාරයක් බවට පත්වී තිබේ.
වසර හතළිහක් ගතවූ තැන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ශ්‍රී ලංකාවේ සියයට සියයක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොරව කුකුළු මස් නිෂ්පාදනය කරන එකම සමාගම යි. එමෙන්ම සමාගමේ පාරිභෝගික කේන්ද්‍රී ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙස ‘හරිතහරි නිෂ්පාදන පෙළ මෙන්ම Crizzpys සහ Frenchys නිෂ්පාදන පෙළ ද, Meatlery අලෙවි ජාලයද, Dorakadapaliya දිවයින පුරා විහිදුණු නොමිලේ බෙදාහැරීමේ සේවාව ද හඳුන්වාදීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිවිය.
සියල්ලට පෙර පවුලේ යහපත
″කුකුළු පැටවුන් 1000ක් සහ ශ්‍රී ලාංකිකයින්ට වඩාත් හොඳ මාංශ ආහාර සැපයීමේ දැඩි වුවමනාවත් සමඟ ආරම්භ වූ අපගේ ව්‍යාපාරය මගින් තිරසර මාංශ ආහාර නිෂ්පාදනයේ ආදර්ශ මොඩලයක් බිහිකිරීමට අප සමත්ව තිබෙනවා. අපගේ මෙම සාර්ථකත්වය තුළින් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවට මෙන්ම ඉදිරි පරම්පරාව ද ඇතුළු සමස්ත මහජන සෞඛ්‍යයටත් ප්‍රතිලාභ සැලසෙනවා″, යනුවෙන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි මහතා පවසයි.
ඔවුහු දෙපළ තමන්ගේ ව්‍යාපාරය ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගැනීමත්, මාංශ ආහාර නිෂ්පාදනය පිළිබඳ තම දැනුම වැඩිකරගැනීමත් සමඟ කර්මාන්තය තුළ පැවැති ඇතැම් භාවිතාවන් පිළිබඳ ප්‍රශ්නකිරීමට ද පටන්ගත්හ. ඒත් සමඟ ගොවිපොළ සතුන්ට ස්වභාවිකව වර්ධනය වීමේ අවකාශය උදාකිරීමත්, ශ්‍රී ලාංකික පවුල් වෙත සැබවින්ම සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීමත් තම දැක්ම කරගැනීමටත් ඔවුහු ක්‍රියාකළහ.
″වසර 40ක වර්ධනයත්, දැනුමත් සමඟ ශ්‍රී ලංකාව මේ වනවිට සෞඛ්‍ය සම්පන්න බව කේන්ද්‍රකරගත් ආහාර සංස්කෘතියකට ගමන්කරමින් සිටිනවා. අපේ දැක්ම සාක්ෂාත් වෙමින් පවතිනවා″, ස්ටැන්ලි මහතා වැඩිදුරටත් පවසයි.
ආදර්ශමත් නායකත්වය
දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැඟීමෙන් නොනැවතුණු එමිල් ස්ටැන්ලි මහතා තවමත් ගොවිපොළ බිමෙහි, කර්මාන්තශාලාවේ සැරිසරමින් තම කාර්යමණ්ඩලය සමඟින් සෑම නිෂ්පාදන අදියරක්ම පෞද්ගලිකවම නිරීක්ෂණය කරයි. මෙම නිහතමානීත්වය සහ නායකත්වය හේතුවෙන් ආයතනයේ සෑම සේවකයෙක් තුළම තමන් පිළිබඳ වටිනාකමක් සහ ගෞරවයක් ඇතිකෙරෙන ආයතනික සංස්කෘතියක් ද බිහිව තිබේ.
1986 වසරේදී සේවකයින් කිහිපදෙනෙකුගෙන් ඇරඹි ව්‍යාපාරය මේ වනවිට සිය ගණනකට රැකියා සැපයූ දැවැන්ත ව්‍යාපාරයකි. එමිල් ස්ටැන්ලි මහතා සහ බිරිඳ සෑම විටම තම සේවකයින් ද පවුලේම සාමාජිකයින් ලෙස සලකන අතර, ඔවුන්ගේ සුබසාධනය සහ අනාගතය වෙනුවෙන් ද නිරතුරු විමසිලිමත් වෙති. එමිල් ස්ටැන්ලි මහතා විශ්වාසකරන පරිදි ව්‍යාපාරික සාර්ථකත්වය සෑමවිටම සමාජ වගකීම සමඟ බැඳී තිබේ. ව්‍යාපාරයක් ගොඩනැඟීමේදී ඊට සහාය වන ප්‍රජාව ද ගොඩනැඟිය යුතු බව ඔහු තරයේ අදහයි.
ව්‍යාපාර නායකයෙකුගේ ගමන්මඟ
″ශ්‍රී ලාංකික පවුල්වලට සෞඛ්‍යාරක්ෂිතව සැකසූ කුකුළු මස් නිෂ්පාදන පිරිනැමීම අපගේ අරමුණ වුණා. ඒ වෙනුවෙන් මහා දැවැන්ත සැලසුම් අපට මුලදී තිබුණේ නැහැ. නමුත් හරි දේ හරි විදිහට කිරීමට අපේ ක්‍රමවේදය වුණා″, ස්ටැන්ලි මහතා ප්‍රකාශ කරයි.
ව්‍යාපාරයේ සෑම තීරණයක්ම ගනු ලැබුවේ එම ප්‍රතිපත්තිය පදනම් කරගනිමිනි. ස්ටැන්ලි මහතා සහ මේරි මහත්මිය තම ව්‍යාපාරය වැඩිදියුණු කළේ එසේ තම පාරිභෝගිකයාට සවන්දෙමිනි. ඔවුන්ගේ අවශ්‍යතා සැළකිල්ලට ගනිමිනි. මාංශ සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේදී එහි සෑම අංශයකම ප්‍රමිතිය ගැන අවධානයට ලක්කෙරුණි. ශීතාගාර ඉදිකරමින් තම නිෂ්පාදනවල නැවුම්බව ආරක්ෂා කිරීමට පියවර ගැනුණි. ″අපේ පාරිභෝගික පවුල්වලට සැබවින්ම සෞඛ්‍යාරක්ෂිත කුකුළු මස් සැපයීමට නම් අපි කුකුළන්ට ලබාදෙන ආහාර ගැනත් සැළකිලිමත් විය යුතු බව කල්පනා කළා″.
එමිල් සහ මේරි යුවල ව්‍යාපාරය මෙහෙයවූ ප්‍රායෝගික ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණය වූයේ, සැමවිටම තම පාරිභෝගිකයින් හදවතේ තබා ගනිමින්, ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට විසඳුම් සැපයීමයි. ජෛව ආරක්ෂණ ප්‍රමිතීන් සහිත නිෂ්පාදනාගාර සඳහා ආයෝජනය කිරීම ද, ගුණාත්මකභාවය පවත්වා ගනිමින් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා අර්ධ ස්වයංක්‍රීය සහ අනතුරුව පූර්ණ ස්වයංක්‍රීය කම්හල් ඉදිකිරීම ද , සත්ත්ව ආහාර පිළියෙළකිරීමේදී ඒවායේ පෝෂණය පිළිබඳ සම්පූර්ණ පාලනය සහතික කිරීම ද එහි ප්‍රතිඵල වේ. සත්ත්ව අභිජනන ක්‍රියාවලියේදී ද සතුන්ගේ ජානමය ප්‍රමිතිය ගැන අවධානය යොමුකෙරිණි. අපද්‍රව්‍ය කළමනාකරණයේදී තිරසර භාවිතාවන්ට මුල්තැන හිමිවිය. විශේෂයෙන්ම අපජල පිරිපහදුකිරීමේදී සමාගම සතු පරිසර හිතකාමී දැක්ම හොඳින්ම පිළිබිඹු විය. ඒ අනුව ව්‍යාපාරයේ සෑඹ වැඩිදියුණු කිරීමක්ම සිදුවූයේ පාරිභෝගිකයාට වැඩි ප්‍රතිලාභයක් අත්වන අතරම සෑම පවුලක් සඳහාම සෞඛ්‍ය සම්පන්න කුකුළුමස් නිෂ්පාදන පිරිනැමීමේ සිය පොරොන්දුව ආරක්ෂා කරමිනි.
ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන හඳුන්වාදීම
ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදන හඳුන්වාදීම නිව් ඇන්තනීස් ෆාම්ස් ආරම්භ කිරීමේදී ඔවුන්ගේ ඉලක්කයක් නොවිණි. එහෙත් නිරායාසයෙන්ම ඔවුන්ගේ ගමන්මඟ වැටී තිබුණේ ඒ වෙතට ය. ″අපි මාංශ ආහාර නිෂ්පාදනය පිළිබඳ වඩාත් දැනුම්වත් වනවිට ප්‍රතිජීවකවලින් සිදුවිය හැකි බලපෑම ගැනත් වැඩි දැනුමක් ලැබුවා. ඒ අනුව යමින් අපේ ගොවිපොළ සතුන්ට මෙතරම් අමතර බෙහෙත් ගැන්වීම් අවශ්‍ය ද යන ප්‍රශ්නය අප තුළ පැනනැඟුණා″, සභාපතිවරයා පැහැදිලි කරයි.
සමස්ත ලෝකය තුළම ප්‍රතිජීවක ප්‍රතිරෝධයට මාංශ ආහාර නිෂ්පාදනය විශාල දායකත්වයක් දක්වයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනවලට අනුව වර්ෂ 2050 වනවිට ලොව පුරා වාර්ෂික පුද්ගල මරණ මිලියන 10කට හේතුවනු ඇත්තේ මෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධය යි. ශ්‍රී ලංකාව තුළ ද මේ වනවිට බහුලව භාවිතවන ප්‍රතිජීවක සඳහා ප්‍රතිජීවක ප්‍රතිරෝධය සියයට සියයක මට්ටමට ළඟාවී තිබේ.
″මේ තත්ත්වයට ඇති ප්‍රධානම බාධාව වී ඇත්තේ ද ප්‍රතිජීවක නිෂ්පාදන කර්මාන්තයමයි. ප්‍රතිජීවක ඇසුරින් නිෂ්පාදනය කරන බ්‍රොයිලර් කුකුළුමස් සෞඛ්‍යාරක්ෂිත බවට වැරදි මතයක් ඔවුන් සමාජගත කරනවා. මේ පසුබිම තුළ සැබවින්ම සෞඛ්‍යාරක්ෂිත කුකුළුමස් නිෂ්පාදනය කිරීම අපේ අවශ්‍යතාව වුණා″, යැයි එමිල් ස්ටැන්ලි මහතා වැඩිදුරටත් පවසයි.
සියයට සියයක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොරවීම සඳහා විශේෂිත ගොවිපළ ක්‍රමවේද, ජෛව ආරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය කිරීමටත්, ආයතනික මට්ටමින් පෝෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් සේවය කිරීමත් අත්‍යාවශ්‍ය වේ. ″සෑමදෙනෙකුගේම මතය වූයේ සියයට සියයක් ප්‍රතිජීවකවලින් තොරවීම ඉතාම මිල අධික කාර්යයක් බවයි. අපි එම ඉලක්කය ජයනොගන්නා බවයි. නමුත් අපි පරාජය භාරගන්නා සූදානම් වුණේ නැහැ. ඒ වගේම එම අමතර පිරිවැය පාරිභෝගිකයා වෙත නොදමා අප විසින් දරාගනු ලැබුවා″.
ව්‍යාපාර නායකයාගේ දැක්ම මත උපන් නවෝත්පාදනය
2019 වසරේදී නිව් ඇන්තනීස් සමාගම සිය අපනයන මෙහෙයුම් ආරම්භ කරන ලද අතර පසුගිය වසරේ පැවැති 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී හොඳම අපනයනකරු ලෙස ද සම්මාන ලැබීමට සමත්විය. සිය පාරිභෝගික අවශ්‍යතාවලට සවන් දෙමින්, 2020 වසරේදී සිය නිෂ්පාදන නොමිලේ නිවසටම බෙදා හැරීමට Dorakadapaliya මෙහෙයුම දියත් කළ අතර, ගුණාත්මක කුකුළු මස් නිවාසවල දොරකඩටම ගෙන එන ලදී. කාර්යබහුල පවුල්වලට පහසු, සෞඛ්‍ය සම්පන්න ආහාර වඩාත් ප්‍රවේශ කරමින්, ශ්‍රී ලංකාවේ පළමු වරට කෑමට සූදානම් ශීත කළ Crizzpys කුකුළුමස් ද හඳුන්වා දුනි.
2021 වසරේදී තවත් කර්මාන්තශාලාවක් අරඹමින් Spicydicy නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට ද සමාගම ක්‍රියාකළේය. ඉන් අනතුරුව 2022 වසරේදී Meatlery නමින් සුඛෝපභෝගී මාංශ ආහාර සුපිරි වෙළඳසැල් ජාලයක් ද හඳුන්වාදුන් අතර 2023 වසරේදී Gold Coin Feed Mills සමාගම මිලදීගැනීමට සමත්විය. ඒ සමඟ කුකුළු මස් නිෂ්පාදනයේ සෑම පියවරක්ම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ හැකියාව නිව් ඇන්තනීස් සමාගම සතුව තිබේ.
2025 නොවැම්බර් මාසයේදී සිය නවතම සන්ධිස්ථානය සනිටුහන් කරමින් හෝටල් සහ සුපිරි අවන්හල් ඉලක්ක කරගනිමින් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන අටකින් යුත් Chicken Havens නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන ලදී. “අප විසින් මීට වසර හතළිහකට පෙර ස්ථාපිත කළ ගුණාත්මක ප්‍රමිතීන් වෘත්තීය ඉවුම් පිහුම් සඳහා යොදාගැනීමට ඇති හැකියාවට මෙය මනා පිළිබිඹුවක්”. එමිල් ස්ටැන්ලි මහතා පවසන ආකාරයට මෙම මෙහෙයුම ඉදිරි මාස හයක කාලය තුළ වේගයෙන් ව්‍යාප්ත කිරීමට අපේක්ෂිත ය.
ගෝලීය පරාමිතීන් සැකසීම
එමිල් ස්ටැන්ලි මහතාගේ නිරන්තර කැපවීම හේතුවෙන් FSSC 22000 තත්ත්ව සහතිකය හිමි ශ්‍රී ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා බවට පත්වීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිවිය. තව ද, ISO 14064-1:2018 තත්ත්ව සහතිකය යටතේ හරිතාගාර වායු විමෝචනයට අදාළ තත්ත්ව සහතිකය හිමි එකම ආයතනය ද නිව් ඇන්තනීස් වේ. මීට අමතරව HACCP, GMP, ISO 22000 තත්ත්ව සහතික ද, හලාල් සහතික ද සමාගම සතුය.
තව ද තිරසර ලෙස සත්ත්ව ආහාර සපයාගැනීම වෙනුවෙන් හිමිවන “Sustainable U.S. Soy” ලේබලය හිමි දකුණු ආසියාවේ සහ උපසහරානු කලාපයේ එකම සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් සමූහයයි. සියයට සියයක්ම ස්වභාවිකව දිරාපත්වන, ශාක භාවිතයෙන් නිර්මාණය කළ ඇසුරුමක් යොදාගන්නා හරිතහරි මාංශ නිෂ්පාදන පෙළ ද වෙළෙඳපොළට හඳුන්වාදීම ද නිව් ඇන්තනීස් ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
මහජන සෞඛ්‍ය වෙනුවෙන් උපදේශකත්වය
″මේරි සහ මම ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ දැනුවත් වූ වහාම අපි කල්පනා කළේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයට අමතර කාර්යයභාරයක් අප සතු බවයි. එය කළ හැකි දෙයක් බව අපි ඔප්පුකර අවසන්. එහෙත් එහි අවශ්‍යතාව අන් අයටත් පහදාදීමේ අවශ්‍යතාව අප සතුව තිබෙනවා″, යනුවෙන් සභාපති එමිල් ස්ටැන්ලි මහතා පවසයි.
2025 වසරේ ගෝලීය ප්‍රතිජීවක ප්‍රතිරෝධී සතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ද සහාය සමඟින් වෝටර්ස් එජ් හෝටලයේදී, විශේෂ සංවාද මණ්ඩපයක් නිර්මාණය කිරීමට සමාගම පෙරමුණ ගත්තේය. ″එහිදී අපගේ හතළිස් වසරක ගමන්මඟත්, එහිදී අප මුහුණදුන් අභියෝගත්, පිරිවැය සහ කැපවීමත් මම හුවමාරු කරගත්තා″. එමෙන්ම සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම සිය ආහාරවේලේ අඩංගු වී ඇත්තේ මොනවාදැයි දැනගැනීමේ අයිතියක් ඇති බව ද එමිල් ස්ටැන්ලි මහතා විශ්වාස කරයි.
″මම හැකි සෑමවිටම සිසු දරුවන්ට කථාකරනවා. ඔවුන් තමයි අපේ රටේ අනාගතය″ ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද එමිල් ස්ටැන්ලි මහතා පෙන්වාදෙයි. ඊට අමතරව තම සේවකයින් ඉලක්ක කරගනිමින් ද ප්‍රතිජීවක ප්‍රතිරෝධය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධී සතිය වෙනුවෙන් සෑම වසරකම නොවැම්බර් මාසයේ විශේෂ සම්මන්ත්‍රණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සමාගම අපේක්ෂා කරයි. සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර ශ්‍රී ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා ලෙස එම වගකීම තමන් සතු විය යුතු බව එමිල් ස්ටැන්ලි මහතා සහ එම මහත්මිය දැඩිව විශ්වාස කරති.
අනාගතයට සභාපතිවරයාගෙන් පොරොන්දුවක්
″අපේ 40 වසරක ගමන්මඟ මැන බැලිය යුත්තේ අපි නිෂ්පාදනය කළ මාංශ ආහාරවල කිලෝග්‍රෑම් ප්‍රමාණයෙන් නොව අප කෙරෙහි ශ්‍රී ලාංකික පවුල් තබා ඇති විශ්වාසය මතයි″.
සමාගම මේ වනවිට සිදුකර ඇති දැවැන්තම ආයෝජන කැපවීම ලෙස Chicken Havens ව්‍යාපෘතිය හැඳින්විය හැක. ″නමුත් එය අපේ අවසාන ව්‍යාපෘතිය නොවේ. අප සතුව තවත් වටිනා ඉදිරි සැලසුම් ගණනාවක් පවතිනවා. ඒ සියල්ලක්ම එකම දැක්මක් මත පදනම් වූ ව්‍යාපෘති. සෞඛ්‍යාරක්ෂිත සහ උසස් තත්ත්වයේ මාංශ ආහාර භුක්තිවිඳීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සතු අයිතිය, එම දැක්ම යි″ ඔහු තවදුරටත් පෙන්වාදෙයි.
කුකුළු පැටවුන් දහසකින් ආරම්භ කළ නිව් ඇන්තනීස් ව්‍යාපාරය අද දින සිය පස්වැනි දශකයට පා තබන මොහොතේ සමස්ත කර්මාන්තයේම දැවැන්ත සලකුණක් තැබීමට සමත්ව තිබේ. ″1986 වසරේ අපි ව්‍යාපාරය පටන්ගන්නා විට අපට අවශ්‍ය වූයේ ශ්‍රී ලාංකික පවුල්වලට සෞඛ්‍යාරක්ෂිත ආහාර සැපයීමයි. හතළිස් වසරකට පසු එම සරල අරමුණ දැවැන්ත වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙනවා″.
නිව් ඇන්තනීස් ෆාම්ස් සභාපති එමිල් ස්ටැන්ලි මහතාත්, අධ්‍යක්ෂිකා මේරි සීතා ලක්ෂ්මී මහත්මියත් පුරෝගාමීත්වය දැරූ මෙම සාඩම්බර සලකුණ සෑම ප්‍රතිජීවකවලින් තොර කුකුළුමස් නිෂ්පාදනයක් හරහාම ශ්‍රී ලාංකික නිවාසවලට සනිටුහන් වී ඇත්තේ, අනාගත පරම්පරාවට යහපත් හිතකර වටපිටාවක් නිර්මාණය කරමිනි.


