එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් ඕස්ටේලියානු වෙළඳපොළට පිවිසෙමින් තම ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.   

EH - Image 2 (LBN)

John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස්’ අයිස්ක්‍රීම් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දෙමින් තම ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම නිල සමාරම්භක උත්සවය 2025 දෙසැම්බර් 4 වන දින මෙල්බර්න්හි Novotel Melbourne Glen Waverley හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, දේශීය බෙදාහරින්නන් සහ උපායමාර්ගික හවුල්කරුවන් රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් තනතුරට පත් කරන ලද ප්‍රදීපා සේරම් මහත්මිය සහ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය සහභාගී වූහ.




විදේශ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත් දේශීය සන්නාමයක් වන එලිෆන්ට් හවුස්, මේ වන විට මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 16ක් පුරා තම වෙළඳ ජාලය ව්‍යාප්ත කර ඇත.

සමාගම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් ප්‍රථම වරට මෙල්බර්න් හි දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ. එමෙන්ම දැනට මිලිලීටර් 500 ඇසුරුම්වලින් සමන්විත වැනිලා, කර්තකොළොම්බන්  සහ ෆෘට් ඇන්ඩ් නට් යන රසයන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. වසර 160ක අභිමානවත් උරුමයක් හිමි සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, සිය අයිස්ක්‍රීම් නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් බැහැරව නිෂ්පාදනය කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය ඕස්ට්‍රේලියාවේ බලයලත් හවුල්කරුවෙකු වන Millennium Imports Pty Ltd ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ව්‍යාප්ති ක්‍රියාවලියේ නව පරිච්ඡේදයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ පැවසීය. “එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප ඉමහත් සතුටට පත් වෙනවා. මෙය හුදෙක් ව්‍යාපාරික ව්‍යාප්තියක් පමණක් නොව, ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සන්නාමයක් නිවැරදි හවුල්කරුවන් සහ දිගුකාලීන දැක්මක් සහිතව විදේශීය ප්‍රජාවන් වෙත සමීප කිරීමේ උත්සාහයක් ලෙස ද හඳුන්වන්නට පුළුවන්”

CSS හි අයිස්ක්‍රීම් අංශයේ ප්‍රධානී සහ අපනයන අංශයේ ව්‍යාපාර ප්‍රධානී සතිෂ් රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේ ය. “එලිෆන්ට් හවුස් සන්නාමය දැනටමත් ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් පාරිභෝගික පදනමක් ගොඩනගාගෙන තිබෙනවා. අපගේ අපනයන ජාලය සැලකීමේදී ඕස්ට්‍රේලියාව යනු ඉතාමත් වැදගත් වෙළඳපොළක්. පාරිභෝගික රුචිකත්වයට ගැළපෙන පරිදි ඉදිරියේදී නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඔබ්බට ගිය පුළුල් පාරිභෝගික පදනමක් සකස් කර ගැනීම අපගේ අරමුණයි.”

CSS හි ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී සුදන්ත වික්ටෝරියා මහතා ද මේ පිළිබඳව සිය අදහස් එක් කළේය. “මෙය සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සහ එලිෆන්ට් හවුස් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් බැහැරව නිෂ්පාදන කටයුතු සිදු කිරීම අපගේ මෙහෙයුම් සහ සන්නාම ශක්තිය පෙන්නුම් කරන අවස්ථාවක්. ඒ වගේම අපගේ මීළඟ ඉලක්කය වන්නේ ඕස්ට්‍රේලියාව පුරා අපගේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරමින්, නව රසයන් සහ ඇසුරුම් හඳුන්වා දෙමින් ඕස්ට්‍රේලියානු වෙළඳපොළේ ප්‍රියතම තේරීමක් බවට පත්වීමයි.”

මෙම සාර්ථක වෙළඳපොළ ප්‍රවේශයත් සමඟින් ඉදිරියේදී ඕස්ට්‍රේලියාව පුරා නව රසයන් සහ විවිධ මාදිලියේ අයිස්ක්‍රීම් නිෂ්පාදන හඳුන්වා දීමට CCS ආයතනය සැලසුම් කර ඇත. එමගින් ‘එලිෆන්ට් හවුස්’ සන්නාමය ගෝලීය වශයෙන් පිළිගත්, පාරිභෝගික ජනාදරයට පත් ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස තහවුරු කිරීමට අපේක්ෂා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව