
ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරන ලද ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය පසුගියදා Barefoot Gallery හිදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. එහි පළමු දිනයේදී පමණක් 300 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණි අතර, චිත්‍ර රැසක්ද අලෙවි විය. දිවයිනේ දක්ෂතම නැගී එන කලාකරුවන් හා කලාකාරියන් අතරින් තෝරාගන්නා ලද 12 දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් වූ මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා විසිනි.
ලීනා හයිඩ්‍රාමනී, අනෝමා රාජකරුණා, නෙලුන් හර්ෂණ සහ ඩොමිනික් සන්සෝනි යන ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන ලද විධිමත් ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව ‘Young Contemporary 2025’ සම්මානය දිනාගැනීමට කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කලාකරුවෙකු වන පොන්නයියා පීටර් සමත් විය. යුද්ධය සහ එහි ප්‍රතිවිපාකවල මතකයන් පිළිබිඹු කළ ඔහුගේ සංවේදී නිර්මාණ, කම්පනය, ඔරොත්තු දීමේ හැකියාව සහ සාමය සෙවීම පිළිබඳ බලගතු ප්රකාශනයන් ගැබ්කොට ගත් සුවිශේෂී නිර්මාණ එකතුවක් ලෙස හැඳින්විය හැකි වේ.

ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කළ අතර, එහි ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා විසින් පොන්නයියා පීටර් වෙත ‘Young Contemporary 2025’ සම්මානය පිළිගන්වන ලදි.
මෙහිදී අදහස් දැක්වූ ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා, මෙම වසරේ ප්‍රදර්ශනය බෙහෙවින් සාර්ථක වූ බවත්, මේ වන විට ජාතික හා ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලාංකික කලාව ප්‍රචලිත කිරීම සඳහා පදනම ගන්නා උත්සාහයට ඉතා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් පැවසීය.
මෙවර ජයග්රාහකයාගේ නිර්මාණ තුළ සමකාලීන ගැටලුවල විවිධ පැතිමානයන් නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කොට තිබූ අතර, ජෝර්ජ් කීට් පදනමේ අරමුණ වන්නේද කලාව තුළින් එබඳු නිර්මාණශීලී ප්රකාශමානයන් හරහා අර්ථවත් කතිකාවන් ගොඩනැංවීමය.


