
ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ භූතාන් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත සංචිතය නිවේදනය කරනු ලැබීය..
භූතානයේ තිම්පු නගරයේදී මේ මස 15 වැනිදා ආරම්භ වන මෙම ශූරතාවලිය අගෝස්තු 22 දින දක්වා පැවැත්වෙන අතර, සත්කාරක භූතානය සමඟ බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියට එක්වනු ඇත.
දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 6 දෙනකු බැගින් ඇතුළත් වන අතර, අවුරුදු 23න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 3ක් යටතේ ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග අංශ සඳහා සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ, තමිඳු රන්දුල පෙරේරා, රනිතු ප්‍රේමරත්න, සෙනුත් සෙත්මිණ, කෙනත් අරුග්ගොඩ සහ දුමිඳු අබේවික්‍රම පිරිමි තරග අංශයත්, රනිත්මා ලියනගේ, රෂ්මි මුදලිගේ, ලිමන්දි පද්ම බණ්ඩාර, නිතිනි සසන්දි ගුරුගේ, විශ්වනී වන්නිආරච්චි සහ නෙත්මි අමායා රත්නායක කාන්තා තරග අංශයත් නියෝජනය කරති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හසිත චානක මහතා කටයුතු කරන අතර, අමන්ද ලලීන්ද්‍ර වීරසිංහ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස තරගාවලියට එක්වනු ඇත. ක්‍රීඩිකාවන් බාර නිලධාරිනිය ලෙස හසලිකා මහත්මිය කටයුතු කරයි.


