
සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට රෂ්මි මුදලිගේ සමත්වූවාය. වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ මේ ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශුරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්විය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කට අධික පිරිසක් තරග වැදුණු සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ඉහළම ගෞරවය දිනාගත් රෂ්මි මුදලිගේ විවෘත කාන්තා ඒකල, යුගල හා මිශ්‍ර යුගල ශූරතා ත්‍රිත්වයට හිමිකම් කියමින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් බවට පත්වූවාය.
ඇය විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-17ක් සහ 21-12කින් සුහස්නි විදානගේ පරාජය කළ අතර, විවෘත කාන්තා යුගල අවසන් මහා තරගයේදී වරංගනා ජයවර්ධන සමඟ එක්ව දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 21-16ක් සහ 22-20ක් වශයෙනි. ලෝචන ද සිල්වා සමඟ විවෘත මිශ්‍ර යුගල තරග අංශයට එක්වූ රෂ්මි අවසන් තරගයේදී ලකුණු 22-20ක්, 10-21ක් සහ 21-19ක් ලෙස තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි පරාජයට පත් කළාය.
විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී සවිනක වීරසේකර ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 23-25ක්, 21-11ක් සහ 21-12ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කරමිනි.
ලකුණු 16-21ක්, 21-15ක් සහ 21-15ක් ලෙස ඇලන් ක්‍රිස්ටන්ටෝ සහ මාර්සිලෝ මේනකී පරාජය කරමින් විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට රයිහාන් ගුසියාපුත්ර සහ ඩේවිඩ් හෝමර් සමත්වූහ. පළඟ
ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-18ක් සහ 21-7ක් ලෙස හෙවිඳු තිලකසේන පරාජය කළ චලන වීරකෝන් විසිනි. මේ අතර රෙෂාන් දිඹුක්කුවලගේ පරාජය කරමින් තරගාවලියේ කනිෂ්ඨ අංශයේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශුරතාව දිනා ගැනීමට තිඩස ඉරූෂික සමත්වෙද්දී එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශූරතාව නෙත්මි රත්නායක දිනාගනු ලැබුවේ රනුමි මානගේ පරාජය කරමිනි. පමිත් අත්තනායක සහ තිඩස ඉරූෂික පරාජය කරමින් බාලක යුගල ශූරතාව දිනා ගැනීමට නෙතිල් තෙව්මික සහ මනෙත් තීක්ෂණ සමත්වූහ. දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ පරාජය කළ තිසේජා හේරත් සහ කෙත්නාරා කුමාරප්පෙරුම 19න් පහළ බාලිකා යුගල ශුරතාව දිනා ගත්හ.
ජාතික බැඩ්මින්ටන් පළමු මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේය. ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත්වලට අමතරව රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා වෙනත් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.
අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග අංශය, අවුරුදු 100න් ඉහළ ඒකාබද්ධ තරග අංශය, පළඟ ශූරතා තරග අංශය සහ කාන්තා හා පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වූ මේ තරගාවලිය පවත්වනු ලැබුවේ McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්ව යටතේය.