රාජසන්තක කරන ලද හෙරොයින් වගකීම් සහගත ලෙස අපහරණය කිරීම සඳහා INSEE Ecocycle රජයේ බලධාරීන් සමඟ සහයෝගීතා මෙහෙවරක

4 (LBN)

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට නිරන්තර සහයක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අපද්‍රව්‍ය කළමනාකරණ සැපයුම්කරු වන INSEE Ecocycle Lanka (Private) Limited, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය (PNB) සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ එක්ව, රාජසන්තක කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 494.048ක් සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණය යොදා ගනිමින් වගකීම් සහගත ලෙස විනාශ කිරීමට කටයුතු කර ලදී.
 



 

INSEE Ecocycle සහ නීති අංශයේ අධිකාරීන්ගේ සහයෝගීතාවයෙන් මෙවැනි හානිකර ද්‍රව්‍ය තොග විනාශ කරනු ලැබූ සිව්වන අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2018, 2019 සහ 2023 වසරවලදී ද මෙවැනි සාර්ථක අපහරණ මෙහෙයුම් සිදු කෙරින. සමස්තයක් ලෙස මෙම සියලු මෙහෙයුම්වලින් අන්තරයාකර ඖෂධ කිලෝග්‍රෑම් 1804ක් පමණ විනාශ කොට ඇත.

පාරිසරික ආරක්ෂාව සහතික කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම, PNB නිලධාරීන්ගේ සහ අධිකරණය විසින් පත් කරන ලද නියෝජිතයින්ගේ දැඩි අධීක්ෂණය යටතේ අප්‍රේල් 28 වන දින පුත්තලම INSEE සිමෙන්ති කම්හලේදී සිදු කරන ලදී.

ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගය විනාශ කිරීමට පෙර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව (GAD), අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (NDDCB) සහ අධිකරණ බලධාරීන් විසින් නීතිමය සහ ආරක්ෂක විධිවිධානවලට අනුකූල බව සහතික කිරීම සඳහා දැඩි අධීක්ෂණ ක්‍රියාවලියකට ලක් කරන ලදී.

INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දක්වමින්, “මෙම විසඳුම ලබා දීමේ හැකියාව සහිත රටේ ඇති එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදන සමාගම INSEE සිමෙන්ති පමණයි. ජාතික වගකීමකින් යුතු මේ වැඩපිළිවෙළට අප ඉතා ආඩම්බරයෙන් සහාය දෙන අතරම මත්ද්‍රව්‍යවලින් තොර ජාතියක් ගොඩනැගීමට අපි නිරන්තරයෙන් දායක වනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සහ-සැකසුම් පහසුකම සහිත එකම සිමෙන්ති උදුන පිහිටා ඇත්තේ අපගේ පුත්තලම සිමෙන්ති කම්හලේ පමණයි. INSEE සිමෙන්ති සැමවිටම අපගේ සියලුම පාර්ශවකරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා. වගකීමක් ඇති ආයතනික පුරවැසියෙකු ලෙස, අපගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මෙන්ම උපරිම සැලකිල්ලෙන් හා වෘත්තීයභාවයෙන් හානිකර ද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කිරීම සහතික කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක් වගේම ගෞරවයක්.”

මෙම මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් INSEE Ecocycle හි අධ්‍යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා, “ශ්‍රී ලංකාවේ සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණ පහසුකම සහිත එකම සැපයුම්කරු ලෙස, බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ මෙම තීරණාත්මක උත්සාහයට සහාය වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. රජය විසින් අනුදත් සියලු රෙගුලාසිවලට අනුකූලව, ඉතාමත් පරිසර හිතකාමී ආකාරයකින් මෙම රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අපි සාර්ථකව සිදු කළා. සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ අතුරු අවශේෂ කොටස් නොමැතිව අන්තරායකර අපද්‍රව්‍ය විනාශ කිරීමට හැකි වීමයි. සාම්ප්‍රදායික දහනය වෙනුවට හරිතවත් විකල්පයක් මෙමඟින් ලබා දෙනවා. හරිතාගාර වායු විමෝචනයත් මේ නිසා සැලකිය යුතු අයුරින් අඩු කරගත හැකියි. ඒ වගේම තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලොව හොඳම භාවිතයන්ට අනුකූලව සිදු කළ හැකි උසස් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් ලෙස මෙය ගෝලීය වශයෙන් ද පිළිගනු ලබන ක්‍රමවේදයක්.”

INSEE Ecocycle, පෝෂණ යාන්ත්‍රණය (Feeding Mechanism) සහ පූර්ව සැකසුම් ක්‍රියාකාරකම්වල තාක්ෂණික ඇගයීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, අන්තරායකර ද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කිරීම සහතික කිරීම සඳහා PNB සහ NDDCB ආයතන සමඟ ද සමීපව සහයෝගයෙන් යුතුව කටයුතු කරනු ලබයි. මෙම පුළුල් තාක්ෂණික ක්‍රියාවලියට, සම්පූර්ණ අවදානම තක්සේරු කිරීම සහ අවම කිරීමේ ක්‍රියාකාරී සැලසුම් ඇතුළත් වන අතර, සමස්ත පූර්ව සැකසුම් සහ සහ-සැකසුම් ක්‍රියාවලිය මඟින් පාරිසරික, සමාජීය, සෞඛ්‍ය සහ ආරක්ෂාව යන කරුණු පිළිබඳව ද සැලකිල්ල යොමු කරන ලදී.

මෙම සමස්ත ක්‍රියාවලිය පුරාම, PNB සහ NDDCB විශේෂඥයින් විසින් රසායනාගාර විශ්ලේෂණයන් සහ නියමිත ක්‍රියාපටිපාටි පිළිපැදීම ඇතුළු තීරණාත්මක මෙහෙයුම් පිළිබඳ මනා මග පෙන්වීමක් ලබා දුන් අතර, එමඟින් මත්ද්‍රව්‍ය තොගය ආරක්ෂිතව හා විනිවිදභාවය ඇතිව විධිමත්ව විනාශ කරන ලදී. සහ-සැකසුම් තාක්ෂණයෙන් යුතු සිමෙන්තු උදුන මඟින් තාප විනාශක උෂ්ණත්වය ලෙස සැලකෙන 1800-2000 °C උෂ්ණත්වයකින් තත්පර 4-6ක කාලයක් තුළ සම්පූර්ණයෙන්ම පාලිත ක්‍රියාවලි නිර්ණායකවලට අනුකූලව මෙම අපහරණ ක්‍රියාවලිය සිදු විය.

INSEE හි සිමෙන්ති උදුන් සහ-සැකසුම් පහසුකම සියලු නියාමන අවශ්‍යතා සහ තාක්ෂණික ප්‍රමිතීන්වලින් යුතු පහසුකමක් වන අතර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෝලීය වශයෙන් ද අනුමැතිය ලබා ඇත. මෙම පහසුකම මඟින් පරිසර හානිය ශුන්‍ය විමෝචනයක් සහිත පූර්ණ විසඳුමක් ලබා දෙයි. මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ පළාත් පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය වැනි අවශ්‍ය සියලුම බලපත්‍ර සහ ISO 9001, ISO 14001, ISO 17025, ISO 39001 සහ ISO 45001 ඇතුළු සහතික ද මේ සඳහා හිමි වී ඇත.

දශක දෙකකට වැඩි සාඩම්බර උරුමයකට හිමිකම් කියන INSEE Ecocycle, විවිධ සමාගම්, මධ්‍යම සහ ප්‍රාදේශීය මට්ටම්වල රාජ්‍ය ආයතනය සහ ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ හවුල්කරුවන් ඇතුළු පාර්ශව 1,000කට අධික සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, කාර්මික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1.3කට වඩා අපහරණය සඳහා සහය ලබා දී ඇත. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකය සහ පාරිසරික භාරකාරත්වය ඉදිරියට ගෙන යාම සඳහා සමාගමේ කැපවීම ද පෙන්නුම් කරන්නකි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව