රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ 2025 අදියරට 30,000 කට අධික සහභාගීත්වයක්

DSC_9041 (LBN)

CBL සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත, CBL Foods International (Pvt) Ltd සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටී. මෙවර පාසල් 1,300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය මෙරට පැරණිතම පාසල් මළල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් රිට්ස්බරි සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
 



 
තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින්, පසුගිය වසරවලදීත් දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගත් රිට්ස්බරි සහයදිවීමේ සැණකෙළිය (Ritzbury Relay Carnival) පෙරටත් වඩා පුළුල් මට්ටමින් අප්‍රේල් 09, 10 සහ 11 යන දිනවල දියගම ක්‍රීඩාංගණයේදී මෙවර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

54 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ යන කාණ්ඩ යටතේ පැවැත්වේ. මෙහි පළමු අදියර යටතේ දකුණු හා සබරගමු පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වන තරග මැයි 17 සහ 18 දිනවල බෙලිඅත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙවර කනිෂ්ඨ තරගාවලියට ගම්පහ ප්‍රදේශයේ තරග වටයක්ද ඇතුළත් කර ඇති අතර එම තරග ජූනි 19 සහ 20 දිනවල වතුපිටිවල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගකරුවන් විශාල පිරිසක් මෙම තරගාවලියට සහභාගී වන බැවින් මෙම තීරණය ගන්නා ලදි.

මධ්‍යම හා වයඹ පළාත් සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වන තරග ජූනි 04 සිට ජූනි 06 දක්වා දිගන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා වන තරග ජූලි 02 සිට ජූලි 04 දක්වා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා වන තරග ජූලි 16 සහ 17 යන දිනවල යාපනයේ දුරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා වන තරග ජූලි 19 සහ 20 දිනවල මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙම අදියරවලදී විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹදී පැවැත්වෙන අවසන් වටයේ තරගවලට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

93 වන වරටත් පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය 2025 අගෝස්තු 21 දින සිට 24 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. වයස අවුරුදු 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන කාණ්ඩ යටතේ මෙහි තරග පැවැත්වෙනු ඇත. මීට අමතරව ජ්‍යෙෂ්ඨ ශූරතා මැරතන් තරග ඉසව්වක්ද මීට එක් කර ඇති අතර, එම තරග 2025 ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

“ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය සමග එක්ව මෙවරත් ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ ආරම්භය මෙලෙස නිවේදනය කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පාසල් මළල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට රිට්ස්බරි කැප වී සිටින අතර, ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය සමග ඇතිකරගෙන තිබෙන දීර්ඝකාලීන හවුල්කාරීත්වය ඒ සඳහා අපට බෙහෙවින් වැදගත්. රට පුරා වෙසෙන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා  ඇගයීමට ලක්කරන මෙවැනි ජාතික තලයේ තරගාවලියක ප්‍රධාන අනුග්‍රාහකයෙකු බවට පත්වීමට හැකි වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වනවා.” CBL Foods International පුද්. සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා  මහතා  පැවසීය.

“ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය සඳහා රිට්ස්බරි ලබාදෙන සහයෝගයට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා. රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට සහ රට තුළ සෞඛ්‍යය හා යහපැවැත්ම මුල්කරගත් සම්ප්‍රදායක් ගොඩනැංවීම සඳහා රිට්ස්බරි දරන උත්සාහය මෙම තරගාවලියේ අඛණ්ඩ සාර්ථකත්වය මගින් තව දුරටත් තහවුරු වේ.” ශ්‍රී ලංකා පාසැල් මළල ක්‍රීඩා සංගමයේ සභාපතිනි ඩී. ඒ. එස්. එස්. විජේසිංහ මහත්මිය පැවසීය.

රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීම සඳහා රිට්ස්බරි විසින් ‘මව්බිමට වීරයෙක්’ නමින් සුවිශේෂී වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබේ. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් වීමයි. මෙම වැඩසටහන යටතේ අනුග්‍රහය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 28 සිට 65 දක්වා වැඩි කිරීමට රිට්ස්බරි සැලසුම් කර තිබේ. මෙම අත්වැල හිමි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් බහුතරයක් ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය හරහා තෝරාගනු ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ ජන හද ජයගත් චොක්ලට් සන්නාමයක් වන රිස්ට්බරි මේ දක්වා  ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියට අමතරව මෙරට හොකී, පිහිනුම් ක්‍රීඩා, ස්ක්වොෂ්, රග්බි සහ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා රැසකට අනුග්‍රහය ලබා දී තිබේ. මෙය ක්‍රීඩාව හරහා රටේ තරුණ පරපුරේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා රිට්ස්බරි දරන නිරන්තර උත්සාහයේ අනිවාර්ය අංගයකි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව