ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. තියුණු මුහුණුවරක් ගත් කාන්තා යුගල අවසන් මහා තරගයේදී ලෝක බැඩ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඇමි ඒකර්මන් සහ ඩයිඩ්රි ලොරේන්ස් ලකුණු 21-18ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින් මේ ඓතිහාසික ජයග්‍රහණයට හිමිකම් කීමට හසරා සහ හසිනි සමත්වූහ. මේ ජයග්‍රහණය ඉතිහාසයට එක්වූයේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියකදි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු අත්කර ගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි.
හසරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ මේ තරගාවලියට එක්වූයේ පසුගියදා සැම්බියාවේ පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුවය. බොට්සාවානා තරගාවලියේ රන් පදක්කම්ලාභී හසාරා සහ හසිනි මේ ජයග්‍රහණයේ සැමරුමත් සමඟ ඔවුන්ගේ මීළඟ ඉලක්කය වන දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගිවීමට නියමිතය. එම තරගාවලිය මේ මස 28 වැනිදා ආරම්භ වන අතර, දෙසැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වේ.