මෙවර තරගාවලියට 1,300කට ආසන්න වාර්තාගත අයැදුම්පත් ප්‍රමාණයක්
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මෙහෙයවනු ලබන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ප්‍රධාන බැඩ්මින්ටන් ක්රීඩාගාර තුනකදී පැවැත්වෙයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,300කට ආසන්න පිරිසක් තරග වදින මෙරට ප්‍රමුඛතම බැඩ්මින්ටන් ශූරතාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ තරග ඇතුළත් වන අතර, වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කරමින් තරගාවලිය පැවැත්වෙනු ඇත.
පසුගිය වසරේ පැවැති 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට ලද අයැදුම්පත් 1,140 ඉක්මවා යමින් මේ වසරේ ශූරතාවලියට අයැදුම්පත් 1,254ක් ලැබී ඇති අතර, එය දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මෙම ශූරතාවලිය කෙරෙහි ඇති අතිවිශාල උද්යෝගය මැනවින් පෙන්නුම් කරන්නකි. වාර්තාගත අයැදුම්පත් ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් දින 8ක් පුරා පැවැත්වෙන මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා නිලධාරීන් 60කට අධික පිරිසක් යෙදවීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයට සිදුවී තිබේ.
අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග අංශය මෙන්ම අවුරුදු 100+, 110+ සහ 120+ ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග අංශය සමඟ කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් විවෘත තරග අංශය ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට ඇතුළත්ය.
72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 1 වැනිදා පැවැත්වෙන අතර, එදින සිට දෙසැම්බර් මස 6 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතය. අවසන් 16 දෙනාගේ තරග වටය සහ අර්ධ අවසන් පූර්ව තරග වටය දෙසැම්බර් මස 7 වැනිදා පැවැත්වෙන අතර, එදිනම අවසන් පූර්ව වටයේ තරග සහ තෝරාගත් අවසන් මහා තරග කිහිපයක් පැවැත්වෙනු ඇත. තෝරාගත් තවත් අවසන් මහා තරග කිහිපයක් සමඟ විවෘත තරග අංශය අවසන් මහා තරග දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වීමෙන් පසු එදින පස්වරුවේ ත්‍යාග ප්රදානෝත්සවය සහ සමාප්ති උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ පැවැති 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශුරයා බවට පත්වීමට බුවනෙක ගුණතිලක සමත්වූ අතර, විරේන් නෙත්තසිංහ සමඟ එක්ව පිරිමි විවෘත යුගල ශූරතාව සහ නටාෂා ගුණසේකර සමඟ එක්ව විවෘත මිශ්‍ර යුගල ශුරතාව දිනා ගනිමින් ශුරතා ත්‍රිත්වයකට හිමිකම් කීමට ද සමත්විය. පසුගියදා බහරේන් ජාත්‍යන්තර තරගාවලියේදී කාන්තා ඒකල තරග ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් දේශීය බැඩ්මින්ටන් තරග බිමේ අංක එක ක්‍රීඩිකාව වන රනිත්මා ලියනගේ පසුගිය වසරේ ශූරතාවලියේ කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත්වූ අතර, අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශුරතාව දිනා ගැනීමට ද සමත් වූවාය. 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා විවෘත යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ජනනුවනි අමන්දා ද අල්විස් සහ හසාරා විජේරත්න විසිනි.
මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සමස්ත ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් ප්රදානය කෙරේ.
තරගාවලියේ සංවිධායක මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව මෙවර කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට මුදල් වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ තරග නීතිරෙගුලාසි යටතේ පැවත්වෙන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ Li Ning, McFoil, 3M, GAC සහ Mobil විසිනි.