ශ්‍රී ලංකා යෝගා ව්‍යායාම සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන විශේෂ යෝගා දින සැමරුම 2024 ජුනි මස 21 වන දින නාවල වෙට්ලන් උද්‍යානයේ දී පෙරවරු 6.30ට ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින යෝගා ව්‍යායාම ගුරුවරුන් මෙන්ම මේ සදහා උනන්දුවක් දක්වන පිරිස මෙම අවස්ථාව සදහා සම්බන්ධ කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ. ‘යෝගා ව්‍යායාම තුලින් නිරෝගී අනාගත පරපුරක්’ යන්න මෙදින තේමාවයි. පාසල් දරුවන්ගේ කායික මෙන්ම මානසික සංවර්ධනය ඉහළ දැමීම තුලින් යහපත් මිනිසෙකු බිහිකර ගැනීම තවත් ප්‍රධාන අරමුණක් බව ශ්‍රී ලංකා යෝගා සම්මේලනයේ සභාපති ධර්මපාල විජේසිරි පැවසීය. එදින සහභාගීවන පිරිසට විශේෂ ඖෂධීය පානයක් පිරි නැමීමට සංගමය බලාපොරොත්තු වේ.
එක්සත් ජාතීන්ගේ සම්මේලනය විසින් 2014 වර්ෂයේ දී ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යෝජනාවකට අනුව 2015 ජුනි මස 21වන දා සිට සෑම වසරකම ජුනි 21 ලොව පුරා ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබයි.
ඉන්දියාවේ පැරණි සාම්ප්‍රධායික ව්‍යායාම විශේෂයක් වන ‘යෝගා’ මිනිසාගේ ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාවය සමබරව තබා ගැනීමටත්, මිනිසා සහ ස්වභාදහම අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් උපකාරී වේ.