දත්ත සහ උසස් විශ්ලේෂණ තාක්ෂණය දියුණු කිරීම සඳහා OCTAVE සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අත්වැල් බැඳගනී

technology-6701404_1280 (LBN)

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය. මෙය ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා OCTAVE දරන උත්සාහයේ නවතම පියවර ලෙස හැඳින්විය හැකි වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙරට දීර්ඝතම ඉතිහාසයක් සහිත විශ්ව විද්‍යාලය වන අතර, මෙම හවුල්කාරීත්වය ප්‍රධාන වශයෙන් එම විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු පීඨය සමග ක්‍රියාත්මක වනු ඇත.




මේ යටතේ, දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනුම සහ දත්ත ඉංජිනේරුකරණය යන විෂයන් පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව, සමස්තයක් ලෙස දත්ත විශ්ලේෂණය සම්බන්ධ විෂය මාලාවන් වැඩිදියුණු කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමග සමීපව කටයුතු කිරීමට OCTAVE බලාපොරොත්තු වෙයි. මෙහි අරමුණ වන්නේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ක්‍රමවේදයන් විෂය මාලාවන්ට එක්කරමින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම දැනුම ලබාදීම ය. එමෙන්ම OCTAVE හි ප්‍රවීණ වෘත්තිකයන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතිවල අධීක්ෂකවරුන් ලෙස මෙන්ම එහි ආරාධිත දේශකවරුන් ලෙස කටයුතු කරනු ඇත.
තවද කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සීමාවාසික පුහුණු අවස්ථා ලබාදීමටද OCTAVE සැලසුම් කර තිබේ. මෙමගින් ඔවුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සමීපව කටයුතු කරමින්, දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනුම, දත්ත ඉංජිනේරුකරණය, BI ඉංජිනේරුකරණය සහ උසස් දත්ත විශ්ලේෂණය යනාදී අංශ සම්බන්ධයෙන් තම දැනුම සහ පළපුරුද්ද වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමිවනු ඇත. මීට අමතරව, විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන රැකියා පොළ වැඩසටහන් ආදියට සහභාගී වෙමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය මෙන්ම එහි රැකියා අවස්ථාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමට OCTAVE බලාපොරොත්තු වෙයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණ විද්‍යා අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය සම්බන්ධ නවතම පර්යේෂණ ප්‍රතිඵල හඳුන්වා දෙමින්, අඛණ්ඩ ඉගෙනුම් සම්ප්‍රදායක් සඳහා ඔවුන් යොමුකරවීම මෙම හවුල්කාරීත්වයේ තවත් එක් අරමුණකි. එමෙන්ම නවෝත්පාදන දිරිගන්වමින් ශ්‍රී ලංකාවේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා සහයෝගීත්ව පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වීමටද OCTAVE කටයුතු කරනු ඇත.
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් OCTAVE ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යෝලන් සීමන් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ක්‍රමයෙන් සංකීර්ණ වෙමින් පවතින උසස් දත්ත විශ්ලේෂණ විෂය ක්ෂේත්‍රය ජයගැනීමට අවශ්‍ය නවතම දැනුම ඉදිරි පරම්පරාවන් වෙත ලබාදීමට අප කටයුතු කළ යුතුයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ, එම විශ්ව විද්‍යාලයේ සිටින දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, ශ්‍රී ලංකාවේ උසස් දත්ත විශ්ලේෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. ක්ෂේත්‍රය සම්බන්ධයෙන් OCTAVE සතු විශේෂඥ දැනුම සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අධ්‍යාපන ශක්තිය එක්තැන් කරමින්, මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවතම දැනුම හා පුහුණුව ලබාදෙමින්, ක්ෂේත්‍රයට විශිෂ්ටයන් බිහිකිරීමටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත් අප බලාපොරොත්තු වනවා.”
මෙම හවුල්කාරීත්වය, අනාගතයේ අතිදක්ෂ දත්ත සහ උසස් විශ්ලේෂණ වෘත්තිකයන් පිරිසක් බිහිකරමින් රටේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා OCTAVE දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
“ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය වැනි, වසර 150 කට අධික ඉතිහාසයක් සහිත සමාගමක් සමග මෙබඳු හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැකියාවන් වැඩිදියුණු කරමින්, ඒ ඔස්සේ රටේ සංවර්ධනයට දායක වීමට අප බලාපොරොත්තු වනවා.” පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පැවසී ය.
කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව