දියවැඩියාව සම්බන්ධ ගැටලු විසඳීමට ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය මොරිසන් සමාගම සමග අත්වැල් බැඳගනී

02 Image (LBN)

මෙරට දියවැඩියාව කළමනාකරණය සහ දැනුවත් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE), ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් දියවැඩියාව කළමනාකරණය පිළිබඳ සහතිකපත් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මොරිසන් සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට පියවර ගෙන තිබේ.

දියවැඩියාව යනු ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන සෞඛ්‍ය ගැටලුවකි. මේ වනවිට සෑම ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම රෝගීන් සාමාන්‍යයෙන් මුලින්ම සම්බන්ධ වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සපයන වෛද්‍යවරුන් සමග බැවින්, එම වෛද්‍යවරුන්ට දියවැඩියාව කල්තබා හඳුනා ගැනීම, සාර්ථක ලෙස කළමනාකරණය කිරීම සහ සංකූලතා වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබීම අතිශයින් වැදගත් ය. මෙම දැනුම ලබාදීම සඳහා ගනු ලබන සාමූහික ප්‍රයත්නයක් වන මෙම පාඨමාලාවට අදාළ අවබෝධතා ගිවිසුමට පෙබරවාරී මස 13 වන දින දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදි.

 



 

වෛද්‍යවරුන්ට ලොව නවතම සායනික මාර්ගෝපදේශ සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම සැපයීම අරමුණු කරගත්, සාක්ෂි පදනම් කොටගෙන සකස් කරන ලද විෂය මාලාවක් මෙම වැඩසටහනට ඇතුළත් වන අතර, එය පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය මගිනි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ඔවුන්ගේ දෛනික සේවාවන් තුළදී දියවැඩියාව සම්බන්ධ ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙමගින් රෝගීන්ට වඩාත් හොඳ ප්‍රතිකාර ලැබෙනු ඇති අතර, දියවැඩියා රෝගයේ ව්‍යාප්තිය මගින් සෞඛ්‍ය පද්ධතියට ඇතිවන පීඩනයද අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාස හතරක් පුරා දිවෙන මෙම පාඨමාලාවට පළමු බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය දැන් විවෘතව පවතින අතර, වසරකට මෙවැනි වැඩසටහන් දෙකක් පැවැත්වීම සහයෝගීතාවයේ අරමුණයි.

මෙරට අන්තරාසර්ගවේද විෂය ක්ෂේත්‍රය සහ දියවැඩියා ප්‍රතිකර්ම ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමට කැප වී කටයුතු කරන ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය, මේ වනවිට දියවැඩියාව කළමනාකරණය සම්බන්ධ විශිෂ්ටතම ක්‍රමවේදයන් පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

“ක්‍රමයෙන් ව්‍යාප්ත වන දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම හා පුහුණුව අපගේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන් වෙත ලබාදීම අතිශයින් වැදගත්. මෙම පුහුණු වැඩසටහන, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් පහසුවෙන් ගුණාත්මක දියවැඩියා සත්කාර ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා තබන ලද වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි.” ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමයේ සභාපතිනි වෛද්‍ය නිරංජලා මීගොඩ විදානගේ මහත්මිය පැවසුවා ය.

“මේ අර්ථවත් වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ව්‍යාපාර කටයුතුවලදී අප සෑම විටම රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන ප්‍රවේශයක් අනුගමනය කරන අතර, මෙම නවතම පියවර, රටට අවශ්‍යම මොහොතක සැබෑ වෙනසක් සිදුකිරීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම පෙන්නුම් කරන සාධකයක් ලෙස අප දකිනවා.”  මොරිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් අතපත්තු මහතා පැවසී ය.

“උසස්ම තත්වයේ ඖෂධ සහනදායි මිලකට ලබාදීම” යන අරමුණ මුල්කරගෙන, දියවැඩියාව පාලනය සම්බන්ධ ලොව නවතම ප්‍රතිකර්ම  හොඳම ප්‍රමිතිය සහ මිලගණන් යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීමට මොරිසන් සමාගම කැප වී සිටී.

මොරිසන් යනු වසර 60 කට අධික සාඩම්බර උරුමයක් සහිත ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන සමාගමකි. හෝමාගම ප්‍රදේශයේ පිහිටි එම සමාගම සතු අති නවීන කර්මාන්තශාලාව, දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය තුළ මෙතෙක් සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙස සැලකේ. සාමාන්‍ය බෙහෙත් පෙති සහ දියර වර්ග නිපදවන ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන සමාගම වන මොරිසන්, European Union Good Manufacturing Practices (EU GMP) මාර්ගෝපදේශවලට අනුගත වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවද වේ.

සිය නව ක්‍රමෝපායික දිශානතිය අනුව, සුවිශේෂී හා දේශීය ඖෂධ සන්නාමයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය පෙර නොවූවිරූ දියුණුවක් කරා රැගෙන යාම මොරිසන් සමාගමේ අරමුණ වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව