‘ඉනි – විජිත බස්නායකගේ තෝරාගත් ඉදිකිරීම්’ මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට

Launch of Ini (LBN)

 



 

 

විජිත බස්නායක ප්‍රවීණ ශ්‍රී ලාංකීය වාස්තුවේදියෙකි. අවකාශ නිර්මාණකරුවෙකි. චින්තකයෙකි. ශාස්ත්‍රාලීයයත්වයෙන් ඔබ්බෙහි ගැවසෙන අධ්‍යාපනඥයෙකි. පර්යේෂකයෙකි.

හතලිස් වසරකට ආසන්න සිය නිර්මාණ දිවියෙන් තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් ඇතුළත් කෘතිය, ‘ඉනි’ පසුගිය අගෝස්තු 23දා එළි දැක්විණි.

සිංහල – ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම සම්පාදිත මෙම කෘතිය, විජිතගේ ගොඩනැගිලි ඉදිකිරීමේ විලාසය පිළිබඳ කදිම විවරණයක් ගෙන එයි. ඔහු සිය සහයෝගි නිර්මාණ ශිල්පීන් සහ කර්මාන්තකරුවන් හා එක්ව පසුගිය දශක හතරක් තිස්සේ කළ නිමැවුම් එක හැඩයකට, රාමුවකට හෝ සෞන්දර්ය රීතියකට ගොනු කිරීම තරමක් අසීරුය.

ඒවායේ එළඹුම, මූලික පිහිටීම, ඉඩහසර හැසිරවීම හුදෙක්ම සමකාලීන ගොඩනැගිලි අවශ්‍යතාවක් සපුරාලීමකි. එහෙත් ඉඩකඩෙහි විස්තරාත්මක නිරූපණ, දිග පළල උස අතර අනුපාතයන්, සම්පිණ්ඩනයන් තුළ ඇත්තේ පැතිරුණු අතීත ගොඩනැගිලි සම්ප්‍රදායක අක්-මුල් සොයා යන ගමනකි. ඒ ගමනේදී ඔහු අනාගතවාදී, ස්වභාවික පරිසරය හා එක්ව විසිය හැකි ගොඩනැගීම් විලාසයකටද ඔහු මුල පුරන්නේ නිර්මාණයට සහභාගි වන සියල්ලන් ඒ හා සංවේදී කරවමිනි.

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකාවේ උගෙන පුහුණුව ලැබූ විජිත බස්නායක මේ මහපොළව මත හසුරවමින් සිටින්නේ හුදු ගොඩනැගිලි ඉදිකිරීමේ ශෛලියක් නොව පාරිසරික සංවේදිතාවය පිළිබඳ දැනුමකි.

ඔහු ඇතුළු මේ ගොඩනැගිලි නිර්මාණකරුවන්ගේ යෝජනාව තාක්ෂණයේත්, සම්ප්‍රදායේත්, කලාත්මක මනෝ භාවයේත් මනා සංකලනයකි. සමබරතාවයකි. යහ පැවැත්මකි.

විජිතගේ ගොඩනැගිල්ලක සැලසුම ඇඳෙන පරිද්දෙන්ම ඔහුගේ ඇදුරන්, සමීපතමයන්, සහයෝගකරුවන් ඇසුරෙහි කලක් තිස්සේ කතා බස් කරමින් වෙනස් වෙමින් සංස්කරණය වූ කෘතියකි මෙය.

“‘ඉනි’:විජිත බස්නායකගේ තෝරාගත් ඉදිකිරීම්” පිටු 306 යි. ඝන බැම්මෙන් බැඳ ඇත. ගොඩනැගිලි වල සිතියම්, වර්ණ ඡායාරූප සහ විස්තරාත්මක විවරණයක් අඩංගුය. 120gsm ඔප කඩදාසියේ මුද්‍රිත මෙය විජිතයාපා ප්‍රකාශනයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව