ජීවිත රකින සුව සැරිය සඳහා අමානා බැංකුවෙන් අතහිත

amana

 


 

 

ජාතික මෙහෙවරකට යළිත් වතාවක් උරදෙමින් 1990 සුව සැරිය ගිලන් රථ සේවයට අනුග්‍රහය සැපයීම සඳහා අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය. මෙය අමානා බැංකුව විශ්වාස කරන මනුෂ හිතවාදී බැංකුකරණ ක්‍රියාවලියට සමගාමී වන තවත් එක් මානුෂීය පියවරකි.

පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද සුව සැරිය ගිලන් රථ සේවය, ගිලන් රථ 297 කින් සමන්විත සේවයකි. දිවයින පුරා වෙසෙන සුවහසක් වූ ජනතාවගේ හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවන්ට කඩිනමින් ප්‍රතිචාර දක්වන මෙම සේවාව, විනාඩි 11.30 ක් වැනි අවම කාලයක් තුළ ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයයි. COVID-19 වසංගතය දරුණු ලෙස රට තුළ පැතිරෙමින් තිබූ අවධිය ඇතුළුව රටේ විවිධ ප්‍රදේශ වල උද්ගත වූ හදිසි අවස්ථාවන් වල ජීවිත රාශියක් බේරාගැනීමේ ක්‍රියාන්විත වලදී සුව සැරිය ගිලන් රථ සේවාව ඉටු කළ මෙහෙවර අති මහත් ය.

කෙසේ නමුත් රට තුළ ඇති වූ සමාජ-ආර්ථික අර්බුද හේතුවෙන් සුව සැරිය සේවාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා බරපතල මූල්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදු වූ අතර, මෙම තත්ත්වය හමුවේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, සිය අනුග්‍රාහකත්වය ලබාදීමට අමානා බැංකුව ඉදිරිපත් විය. මේ යටතේ ගිලන් රථ නඩත්තු කටයුතු, ඉන්ධන, වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු, කාර්ය මණ්ඩලයේ පුහුණු කටයුතු, නිල ඇඳුම් මිලදී ගැනීම සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදෙන උපාංග ඇතුළු මෙහෙයුම් පිරිවැය සඳහා අමානා බැංකුව දායක වනු ඇත.

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වී ය. “ ශ්‍රී ලාංකිකයන්ගේ සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජිවිතයක් යන අරමුණ සාක්ෂාත් කර ගැනීමට දරන වෑයමේ තවත් එක් පියවරක් ලෙස මෙවැනි අර්ථවත් ප්‍රජා සත්කාර කටයුතුවල නියැලීමට සෑම විටම අප කටයුතු කරනවා. මූලික සෞඛ්‍ය අවශ්‍යතාවන් යනු රටේ සෑම පුරවැසියෙකුගේම අයිතියක් බව අපගේ විශ්වාසයයි. ඒ අනුව මිනිස් ජීවිත රැකගනිමින් ඔවුන් සුවපත් කරන මෙවැනි මෙහෙවරක් වෙනුවෙන් දායක වීමට ලැබීම අපට විශාල සතුටක්. 1990 සුව සැරිය සේවාව, ජනතාවගේ හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවන්ට ඉතාමත් කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දක්වන සෞඛ්‍ය සේවාවක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව එම සේවාව මගින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, සමස්ථ ශ්‍රී ලාංකාවාසීන් වෙනුවෙන් කරන මේ උතුම් සේවාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්වැලක් වීමට අප කටයුතු කරනවා.”

සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා අමානා බැංකුවේ දායකත්වය අගයමින්, 1990 සුව සැරිය සේවාවේ සභාපති දුමීන්ද්‍ර රත්නායක මහතා මෙලෙස අදහස් දැක්වී ය. “අප සිදුකළ ‘Adopt an ambulance’ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සුව සැරිය සේවාවට සහය වීමට ඉදිරිපත් වූ අමානා බැංකුවට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා. අප ලබාදෙන සේවාව රටේ ව්‍යාපාර අංශයේද ඇගයීමට ලක් වී තිබෙන බව මින් පැහැදිලියි.”

අමානා බැංකුව මීට පෙරද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව හා සම්බන්ධ ව්‍යාපෘති රැසකට දායක වී තිබේ. 2006 වසරේ සිටම අමානා බැංකුව කොළඹ දකුණ (කළුබෝවිල) රෝහලේ ළමා වාට්ටුවේ නඩත්තු කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙයි. එමෙන්ම අමානා බැංකුව රජයේ COVID-19 අරමුදලට හා සමාජ ආරක්ෂණ අරමුදලට සැලකිය යුතු දායකත්වයක් දැක්වීම, ප්‍රධාන පෙළේ රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ ප්‍රදානය කිරීම, සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ හදිසි සෞඛ්‍ය සහන වැඩසටහන සමග අත්වැල් බැඳගැනීම වැනි වැදගත් වැඩසටහන් ගණනාවකට දායක වී තිබේ.

තවද ‘OrphanCare’ වැඩසටහනේ ආරම්භක අනුග්‍රාහකයෙකු වශයෙන් අමානා බැංකුව මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට දායක වෙයි. මෙය අවුරුදු 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් පිටව යාමට සිදුවන දරුවන්ගේ අනාගතය ස්ථාවර කිරීමට දායක වන මහඟු මෙහෙවරකි. මේ දක්වා ‘OrphanCare’ වැඩසටහන මගින් රට පුරා ළමා නිවාස 90 ක දරුවන් 3,100 කට වැඩි පිරිසකට උපකාර කර ඇති අතර, අමානා බැංකුව මේ වන විට ‘OrphanCare’ ගිණුම්වලට වාර 15 කදී අරමුදල් බැර කොට ඇත.

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා 1990 සුව සැරිය සේවාවේ සභාපති දුමීන්ද්‍ර රත්නායක මහතා වෙත අනුග්‍රාහකත්ව සහතිකය භාරදුන් අවස්ථාව. සුව සැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා, අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, එම බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර්, සහකාර උප සභාපති (ආයතනික බැංකුකරණ) රාජේන්ද්‍ර ජයසිංහ සහ අලෙවි සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ආසිම් රාලි යන මහත්වරුද ඡායාරූපයෙහි වෙති.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජිද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව