දකුණු ආසියාවේ විශාලතම සැපැයුම් සංකීර්ණය කොළඹ වරායේ ඉදිකිරීමට ඩොලර් මිලියන 392ක ආයෝජනයක්

Image 01 (LBN)

 



 

 

ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප‍්‍රධාන සැපැයුම් කේන්ද්‍රස්ථානය වීමේ ශ‍්‍රී ලංකා අපේක්‍ෂාව දැවැන්ත ඉදිරි පිම්මක් ගෙන ඇත.

මෙලෙස ඉදිකෙරෙන South Asia Commercial and Logistics Hub (SACLH), වසර 50ක ගොඩනැගීම්, මෙහෙයුම් සහ හුවමාරු (BOT) ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට සඳහා වූ ගිවිසුම, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් (CMPort) සමාගම ප‍්‍රධාන සමාගම් තුනක නියෝජිතයින් විසින් පසුගියදා කොළඹදී විධිමත් ලෙස අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතියෙහි 70%ක බහුතර කොටස් චීන සමාගම වෙත සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉන්ජිනියරීන් සමාගම සම, සමව 15%ක කොටස් අයිතිය හිමිවෙයි.

රාජ්‍ය සහ පුද්ගලික හවුල් ව්‍යාපෘතියක් වන SACLH මධ්‍යස්ථානය කොළඹ වරාය මධ්‍යයේ ඉදිකෙරෙන අතර, එහි ගබඩා ධාරිතාව මහල් 08ක් හරහා ඝණ මීටර 530,000කින් සමන්විත වෙයි. මෙම ව්‍යාපෘතියේ ආයෝජනය හරහා ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන විදේශ ආයෝජනයන් ගෙන එනු ඇත.

මෙම සංකීර්ණයේ ඉදිකිරීම් 2023 වසරේ දෙවැනි භාගයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, එය 2025 වසර අගදී අවසන් කිරීමට අපේක්‍ෂා කෙරෙයි. වරාය නගරයට සහ කොළඹ ව්‍යාපාරික කලාපයට යාබද එම සංකීර්ණය වරාය ප‍්‍රවේශ උස් අධිවේගී මාර්ගය හරහා ගුවන් තොටුපොළ සමග ඍජුවම සම්බන්ධ කෙරෙයි. වර්ග අඩි මිලියන 05ක සංකීර්ණය මගින් ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයට අදාළ සියළු සේවා, වෙනත් අගය එකතු කළ සේවාවන් සහ සැපැයුම් ආශ‍්‍රිත පහසුකම්ද ලබාදෙනු ඇත.

 

චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමේ ප‍්‍රකාශකයකු පැවැසුවේ, මෙම ව්‍යාපෘතියට අදාල ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඩොලර් මිලියන 26ක පෙර ගෙවීමට අමතරව තවත් ඩොලර් මිලියන 126ක් ශ‍්‍රී ලංකාවට ලබාදෙන බවයි. මෙම ව්‍යාපෘතිය මගින් අවම වශයෙන් පුද්ගලයින් 1,800කට ඍජු රැකියා ලබා දීමටත්, වෙනත් වක‍්‍ර රැකියා අවස්ථාවන් 10,500ක් පමණ නිර්මාණය කිරීමටත් අපේක්‍ෂා කෙරෙයි.

මෙම ව්‍යාපෘතිය 2019 ජාතික ප‍්‍රතිපත්ති රාමුව තුළ ප‍්‍රධාන අංශයක් සහ ආර්ථික සංවර්ධනය සඳහා වන ගාමක බලවේගයක් ලෙසද හඳුනාගෙන ඇත. ප‍්‍රධාන සැපැයුම් කේන්ද්‍රස්ථානයක් බවට රට පරිවර්තනය කිරීමේ ශ‍්‍රී ලංකා ජාතික සංවර්ධන උපාය මාර්ගය සමගද එය සමපාත වෙයි. මෙම ව්‍යාපෘතිය වඩාත් හොඳ සැපැයුම් සහ ගබඩා පහසුකම් සපයනු ඇත. එමඟින් කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමටත්, ප‍්‍රමුඛ පෙළේ තාක්‍ෂණය නවෝත්පාදනයන් හඳුන්වා දීමටත් හැකිවනු ඇතිය.

මීට අමතරව, කොළඹ වරාය ශ‍්‍රී ලංකා රජය විසින් නිදහස් වරායක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති බැවින්, ප‍්‍රතිනැව්ගත කිරීම සහ MCC භාණ්ඩ සඳහා රේගු නිෂ්කාශනයක් නොමැති වීම, ලේඛන කටයුතු හා ඒ ආශ‍්‍රිත පිරිවැය අඩු කිරීම වැනි වාසි රැසක් අදාල ව්‍යාපෘතිය මගින් භුක්ති විඳිනු ඇත.

මෙම ව්‍යාපෘතිය කලාපයේ අනෙකුත් තරගකාරී වරායන්ට එරෙහිව කොළඹ වරායේ තරගකාරිත්වය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත. එසේම මෙම ව්‍යාපෘතිය මගින් සපයනු ලබන වැඩිදියුණු කළ සේවාවන් හරහා පිරිවැය ප‍්‍රතිලාභ වැඩි ප‍්‍රමාණයක් කොළඹ වරායට ලබා ගැනීමට හැකිවනු ඇතිය. තවද වැඩි බහාලූම් ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමටත්, එහි සියලූම පර්යන්තවලට ප‍්‍රතිලාභ ලබා දීමටත් සහ ශ‍්‍රී ලංකාවේ වරාය හා වරාය ආශ‍්‍රිත සමාගම්වලට ඉහළ ආදායමක් උපයා ගැනීමටත් අපේක්‍ෂා කෙරෙයි.

‘චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස්’ සමාගම කොළඹ වරායේ දකුණු පර්යන්තය කළමනාකරණය කරණු ලබන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය හෙවත් CICT සමාගමේ මව් සමාගමද වෙයි. චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම චීනයේ, හොංකොං සහ තවත් විදේශයන් රැසක ආයෝජනයන් ඇති චීනයේ විශාලතම සහ ගෝලීය වශයෙන් තරගකාරී වරාය සංවර්ධන ආයෝජකයකු සහ ක‍්‍රියාකරුවකු වෙයි. ලෝක මට්ටමේ විස්තීර්ණ වරාය සේවා සපයන්නෙකු වීමේ දැක්ම තුළින් රටවල් 26ක වරායන් 50ක් සතු පුළුල් මෙහෙයුම් ජාලයක් එම සමාගම සතුය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව