SportUnleash පාසල් ක්‍රීඩා සම්මාන 2022

1- Awards Winners Group Photo (LBN)

 


 

 

SportUnleash ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පළමු වරට සංවිධානය කරන ලද 2022 SportUnleash පාසල් ක්‍රීඩා සම්මාන උළෙලේදී ක්‍රීඩා ක්ෂේත්‍ර 15ක් යටතේ සුවිශේෂී දක්ෂතා දැක්වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් සහ තවත් සුවිශේෂී කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ. වයස අවුරුදු 9ත් 11ත් අතර දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා විද්‍යාත්මකව හඳුනාගැනීම පිළිබඳ කීර්තියක් උසුළන SportUnleash සමාගමට මෙම සම්මාන උළෙල හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දැක්වීමට අවස්ථාව උදාවූ අතර, සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ජනාඩිපති සම්මානලාභී ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක් වන SPORTSINFO ආයතනයයි

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා වෙනුවෙන් වාර්ෂික සම්මාන උළෙලක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙය වීම ද කැපීපෙනේ. සම්මාන උළෙල 2023 ජනවාරි 23 වැනිදා කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වුණි. SPORTSINFO සභාපති තිලාන් රංගන මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, හිටපු ජාතික වාර්තාවකට හිමිකම් කියන කීර්තිමත් ක්‍රීඩකයෙකු මෙන්ම Power World Gyms නිර්මාතෘ සහ SPORTSUNLEASH සභාපති තලවෝ අලයිලීමා මහතාගේ සහාය ද හිමිවීමත් සමඟ එය යථාර්ථයක් බවට පත්විය.

ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවයට සහභාගී වූයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ය. උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා කියාසිටියේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කිරීමේ කාලීන අවශ්‍යතාවක් ඇති බව ය. තව ද, දරුවන්ගේ අධයාපනය සහ ක්‍රීඩාව සමබරව පවත්වාගෙන යාම තුළින් සෞඛ්‍යමත් සහ ඵලදායී ජනතාවක් බිහිවන බව ද ඔහු ප්‍රකාශ කළේය. හිටපු අමාත්‍ය සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස සම්මාන උළෙලට සහභාගී වූයේය. ක්‍රීඩා සංගම් ප්‍රධානීහු, ප්‍රධාන පාසල් විදුහල්පතිවරු, ක්‍රීඩා අනුග්‍රාහකයෝ සහ ප්‍රකට ව්‍යාපාරිකයෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ද සම්මාන උළෙලට එක්ව සිටියහ.

″අපි ක්‍රීඩාව හරහා ලෝකය ජයගැනීම සැලසුම් කරනවා නම්, කුඩා කාලයේදීම දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගෙන පාසල් කාලය තුළ එම කුසලතා වර්ධනය කරගැනීමට සහාය දිය යුතුයි. අද දින සම්මාන ලැබූ පාසල් දරුවන් අති දක්ෂයින්. ඔවුන් වසර ගණනාවක් පුරා දක්ෂතා වගේම තමන්ගේ ධෛර්යය, අධිෂ්ඨානය, උනන්දුව, නොපසුබස්නා වීර්යය පෙන්නුම්කර තිබෙනවා.  එම නිසා ඉදිරි වසර 10ක කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන එන ක්‍රීඩකයින් බවට පත්වනු නොඅනුමානයි. යම් අනුග්‍රාහකයෙකුගේ දායකත්වය ලබාදිය යුතු ක්‍රීඩකයින් අද මෙසේ සම්මාන ලැබ සිටිනවා. එවැනි අනුග්‍රහයක් තුළින් ඔවුන්ගේ ව්‍යාපාර සන්නාමයට සහ ව්‍යාපාරයටත් ඉහළ ප්‍රතිලාභ හිමිවනු නිසැකයි″, යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ තලවෝ අලයිලීමා මහතා ප්‍රකාශ කළේය.

″අපේ රටේ වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රීඩා අංශ කිහිපයක් ඔස්සේ පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්වනු අපි දුටුවා. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව එහි නියම විභවතාව ළඟාකරගැනීමට නම් සියලුම පාසල් ක්‍රීඩාවන්ට නිසි ගෞරවය සහ ඇගයීම ලබාදිය යුතු බව මම විශ්වාස කරනවා. මක් නිසාද යත් අපගේ අනාගත ක්‍රීඩා කෞෂල්‍යය සඳහා දොරටු විවෘත වන්නේ එමගිනුයි.  අද දිනයේ අපි එම වැදගත් සන්ධිස්ථානයට පැමිණ තිබෙනවා. ඉදිරියටත් සෑම වසරකදීම මෙම ක්‍රීඩා සම්මාන උළෙල සංවිධානය කරමින් අපගේ අනාගත ක්‍රීඩා ශූරයින්ට මව්බිම වෙනුවෙන් ජයග්‍රහණ ලබාගැනීම සඳහා දිරිය සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් SPORTSINFO සභාපති තිලාන් රංගන මහතා පැවසුවේය.

2022 වසර වෙනුවෙන් සම්මාන දිනාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේ ය.

මලල ක්‍රීඩා : (ධාවන ඉසව්) නදුන් කවීෂ බණ්ඩාර – රාජකීය විදුහල, කොළඹ; (පිටිය ඉසව්) අශ්මික කේෂාන් කෝරාළ – යොෂිදා ජාත්‍යන්තර පාසල, සපුගස්කන්ද; බැඩ්මින්ටන්: විරේන් නෙත්තසිංහ – ශාන්ත පීතර විදුහල; පැසිපන්දු : ජී.ජී. මිනෝලි මාරියා ඩිරෙසේ – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය; බොක්සිං: පසිඳු උමයංග මිහිරාන් – නාලන්දා විදුහල; චෙස්: එල්.එම්. සුසාල් ටී. ද සිල්වා – නාලන්දා විදුහල; ක්‍රිකට්: දුනිත් වෙල්ලාලගේ – ශාන්ත ජෝසප් විදුහල; කරාතේ: සී.ඒ. තාරුකි සෂින්දි – සපුගස්කන්ද විසාකා විද්‍යාලය; දැල්පන්දු: හිරුනි හේෂානි – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල; ඔරු පැදීම: ෂෙලෝන් ෂයාන් ගුණරත්න – ආසියානු ජාත්‍යන්තර පාසල; රග්බි: දිනූප සෙනෙවිරත්න – ඩී.එස්. සේනානායක විදුහල; පිහිනුම්: ගංගා සෙනෙවිරත්න- විසාකා විද්‍යාලය; ටෙනිස්: දිනාරා ද සිල්වා- ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය; වොලිබෝල්: කවිෂ්ක මධුසංක – රාජසිංහ මධ්‍ය මහා විදුහල, රුවන්වැල්ල; මල්ලවපොර: නෙත්මි අහිංසා ප්‍රනාන්දු- වෙල්පල්ල සංඝරතන මහා විද්‍යාලය, ගිරිඋල්ල; පුහුණුකරු: ටී.එස්. සුරංග කුමාර; ක්‍රීඩා පාසල: නාලන්දා විදුහල

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් පෑ ආනන්ද විදුහලේ දනින්දු චරිත් සෙල්ලප්පෙරුමට සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නටත්, මලල ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්වූ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්නටත්, ආචාර්ය හර්ෂ අබේකෝන් (සම-සභාපති) සහ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වූ ජූරිය මගින් පිරිනැමුණු ක්‍රීඩා විශිෂ්ටතා පදක්කම් හිමිවිය.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව