කොමර්ෂල් බැංකුව රටට STEM සුහුරු පන්ති කාමර 100 ක් ප‍්‍රදානය කරයි

Webp.net-resizeimage




 

කොමර්ෂල් බැංකුවේ සියවස සැමරීම සඳහා බැංකුව විසින් 2020 ආරම්භ කළ සාම්ප‍්‍රදායික පාසැල් 100 ක විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) යන විෂයන් ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් ලෙස ලබාදෙන සුහුරු පන්ති කාමර 100 පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් බැංකුවේ අරමුදල් මත ‘සිප්නැණ’ අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවිය සංවර්ධනය කළ හෙඞ්ස්ටාර්ට් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් නොමිලේ නිර්මාණය කර ඇත. මේ නිසා, මෙම ව්‍යාපෘතිය ‘සිප්නැණ සුහුරු STEM පාසැල් 100’ ලෙස නම්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා සූදානම් වන 10 සහ 11 ශ්‍රේණියේ සිසුන්ට ආත්ම විශ්වාසයකින් යුතුව රජයේ විභාග සඳහා පෙනී සිටීමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා මෙම (STEM) පන්ති කාමර ලබාදී තිබෙන බව බැංකුව පවසයි. එසේම, නුදුරේදීම මෙම පන්ති කාමර පළමු ශ්‍රේණීයේ සිට අනිකුත් ශ්‍රේණි දක්වා විවෘත කරන බව බැංකුව සඳහන් කරයි.

ජාතික මට්ටමින් තොරතුරු තාක්ෂණික සාක්ෂරතා මට්ටම නැංවීම සඳහා බැංකුව විසින් දියත් කර තිබෙන ව්‍යාපෘතියේ කොටසක් ලෙස තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබෙන පාසැල් 250 ක් අතුරින් මෙම පාසැල් 100 තෝරාගත් බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම තෝරාගත් පාසැල්වල සැලකිය යුතු ඉඩක STEM මධ්‍යස්ථාන පිහිටුවීමට බැංකුව කටයුතු කර තිබෙන අතර මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මෙම පාසැල් වලට පරිගණක සහ මල්ටිමීඩියා පොජෙක්ටර් ලබාදී ඇත. මෙම පන්ති කාමරවලට ලබාදී තිබෙන පරිගණක මගින් අන්තර්ජාලය නොමැතිව ඩිජිටල් අන්තර්ගතයන් භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ඒවා අතර අන්තර් ක‍්‍රියාකාරී පාඩම්, ඉදිරිපත් කිරීම්, රූප සටහන් සහ රූපමය අන්තර්ගතයන් තිබෙන බව බැංකුව සඳහන් කරයි. විද්‍යාව සහ වාණිජ අංශයේ සිසුන්ට විශේෂිත අධ්‍යාපනික අත්දැකීමක් ලබාදීම මෙමගින් අපේක්ෂා කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පන්ති කාමර කොමර්ෂල් බැංකුව විසින් නවීකරණය කර අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ ලබාදුන් අතර මෙම ඊ-අධ්‍යාපනික වැඩසටහන සඳහා සහභාගීවන ගුරුවරුන්ට පුහුණුව ලබාදීම සඳහා අනුග‍්‍රාහකත්වයද බැංකුව විසින් ලබාදෙන ලදී. ‘සස්නකසංසදය’ නැමති විශ්ව විද්‍යාල ගුරුවරුන් සහ සිසුන් ඒකාබද්ධව පිහිටුවා ගෙන තිබෙන ස්වාධීන කණ්ඩායම විසින් ‘සිප්නැණ’ අධ්‍යාපනික අන්තර්ගතයන් උපරිම අයුරින් භාවිතා කිරීම සඳහා මෙහිදී පුහුණුවක් ලබා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘STEM පන්ති කාමර 100 ව්‍යාපෘතිය බැංකුවේ සියවස සැමරීමේ කොටසක් ලෙස ආරම්භ කළත් කොවිඞ්-19 වසංගතය නිසා අන් කවරදාකටත් වඩා අන්තර්ජාල අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍යතාවයක් ඇතිවූ නිසාල එය ඉතාමත් කාලීන ව්‍යාපෘතියක් වුණා. අපි විශ්වාස කරන්නේ මෙම සුහුරු පන්ති කාමර අධ්‍යාපනයේ අඛණ්ඩතාවය සහ ප‍්‍රමිතිය සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති බවයි. විශේෂයෙන්ම විභාග වලට සූදානම් වන දරුවන්ට මෙයින් වැඩි ප‍්‍රතිලාභයක් ලැබේවි.’

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම 100% පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව