ආර්ථික දුෂ්කරතා සහිත දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට ඇට්ලස් සිප්සවි වෙතින් අත්වැලක්

Atlas SipSavi Scholarship Image

 




 

 

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සෑම වසරකදීම දරුවන් 22,000 කට අධික පිරිසක් පාසල් හැරයාම පිළිබඳ කථිකාවතකට ඇට්ලස් මුලපුරයි

2021 නොවැම්බර් 16, කොළඹ: ශ්‍රී ලංකාවේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සම්බන්ධ ප්‍රමුඛතම  සන්නාමයක් වන ඇට්ලස්, මෙරට දෙමාපියන් අහිමි වීම සහ ආර්ථික දුෂ්කරතා වැනි හේතු නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර කිරීමට සිදුවන දරු දැරියන් සම්බන්ධයෙන් වඩාත් පුළුල් කතිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින්, විශේෂ අන්තර්ජාල සංවාදයක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. සෑම වස`රකදීම දරුවන් 22,000 කට වැඩි පිරිසක් පාසල් හැර යන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි. දැනට පවතින COVID-19 තත්ත්වය නිසා මෙම ගැටලුව තවත් දරුණු අතට හැරී ඇතැයි ගණනය කර ඇති අතර, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම යනු, ඔවුන්ගේ සමස්ත ජීවිතයටම අහිතකර ලෙස බලපාන සාධකයකි.

මේ ආකාරයට ආර්ථික සහ දෙමාපියන් අහිමි වීම වැනි හේතු නිසා පාසල් හැරයාමේ අවදානමට ලක්වී සිටින දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමට අත්වැලක් වීම සඳහා ඇට්ලස් සමාගම විසින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග එක්වී ඇට්ලස් සිප්සවි නමින් විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සංවාදය පවත්වන ලද්දේ එම ශිෂ්‍යත්ව වැඩසටහනට සමගාමීව සමාජ කතිකාවක් ඇති කිරීමේ අරමුණින් ය.

මෙම සංවාදයේදී අදහස් දැක්වීම සඳහා, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ සහ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යායේ විදුහල්පතිනිය වන ශාන්ති සෙනෙවිරත්න මහත්මිය  සහ ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා යන මහත්ම මහත්මීහු එක්වූහ.

පළමුවෙන්ම අදහස් දක්වමින් සඳරේඛා ලියනගේ මහත්මිය පෙන්වා දුන්නේ, ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටින ඇතැම් පවුල් වල දරුවන්, අධ්‍යාපනය ලැබීමට වඩා ආර්ථික කටයුතු වල නිරත වීම මගින් තම පවුල් වලට යහපතක් සිදු වන බව සිතා පාසල් අධ්‍යාපනය අතර මග නතර කරන අතර, ඇතැම් විට වයසින් වැඩි දරුවන්ට, වයසින් අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා නිවසේ නතර වීමට සිදු වේ.

“අධ්‍යාපනය යනු දරුවෙකුගේ මූලික අයිතියක්. එය ආරක්ෂා කිරීමට අප හැකි සෑම දෙයක්ම කළ යුතුයි. සාමාන්‍ය පෙළ විභාගය තෙක් පාසල් ගමන අඛණ්ඩව සිදුකිරීමට දරුවන්ට අත්වැලක් වීමේ ඒකායන අරමුණින්, මේ ආකාරයට ශිෂ්‍යත්ව පිරිනැමීමට ඇට්ලස් වැනි පෞද්ගලික සමාගම් කටයුතු කිරීම මා සැබැවින්ම අගය කරනවා. දරුවන් දිගින් දිගටම පාසල් යන්නේ නම්, ඔවුන් නොමඟ යාමේ සහ නීතිවිරෝධී කටයුතු වලට නැඹුරු වීමේ ඉඩකඩ අවමයි. එය ඔවුන්ගේ ජීවිත වලට ඉතාමත් යහපත් දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.” සඳරේඛා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

“අධ්‍යාපනය යනු රටේ ජීවනාලියයි. ආර්ථික ගැටලු, මව විදේශ ගත වීම, නැතිනම් දෙමාපියන් අධ්‍යාපනයේ වටිනාකම හරිහැටි වටහා නොගැනීම වැනි හේතු නිසා ඇතැම් දරුවන්ට පාසල් අධ්‍යාපනය නිමා කිරීමට සිදුවනවා. එවැනි දරුවන් රැකියා වලට යොමු වූ පසුව ඔවුන් නැවත පාසල් අධ්‍යාපනයට යොමුකරවීම ඉතාමත් අපහසුයි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ වනවිට වැඩසටහනක් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා.” ශාන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවා ය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග එක්වී ඇට්ලස් සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලද්දේ 2019 වසරේදී ය. එහිදී 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන, දෙමාපියන් අතරින් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වීම නිසා පාසල් හැරයාමේ අවදානමට ලක්වී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන ලදි. විශේෂ කමිටුවක් මගින් ඇට්ලස් සිප්සවි ශිෂ්‍යත්ව සඳහා දරුවන් තෝරාගනු ලබන අතර, ඔවුන්ට තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අත්වැලක් වීම සඳහා මාසික දීමනාවක් ගෙවනු ලැබේ. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහ ඇට්ලස් සමාගමේ නියෝජිතයෝ, මෙම දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටද කටයුතු කරති.

“ඇට්ලස් හි අප සැමගේ ප්‍රාර්ථනාව වන්නේ, අපගේ දරුවන් තරමටම, ඇට්ලස් සිප්සවි ශිෂ්‍යත්ව හිමිකර ගන්නා දරුවන්ද තම ජීවිත සාර්ථක කරගනු දැකීමයි. ඇට්ලස් සිප්සවි යනු හුදෙක් තවත් එක් ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහනක් පමණක් නොවෙයි. මෙය ඇට්ලස් සමාගමේ පරමාර්ථය සමග සමීපව බද්ධ වූ වැඩසටහනක්. වසර 5 ක් කාලයක් සඳහා, දරුවන් 200 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමමින් අප මේ වැඩසටහන ආරම්භ කළා. ඊළඟ වසරේදී මෙම සංඛ්‍යාව 250 දක්වා වැඩි කිරීමට වගේම, අනාගතයේදී මෙම වැඩසටහන මීටත් වඩා පුළුල් කිරීමටත් අප බලාපොරොත්තු වනවා. මෙම සත්කාරයට තවත් පාර්ශ්ව කිහිපයක් හවුල් කරගැනීමට අප දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සඳහා එම පාර්ශ්වයන් වෙතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව කියන්නේ මහත් සතුටින්.”  ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසී ය.

මූල්‍ය ශිෂ්‍යත්ව වලට අමතරව, ඇට්ලස් සිප්සවි වැඩසටහන යටතේ, විවිධ දුෂ්කරතා වලට මුහුණ පා සිටින දරුවන් වෙනුවෙන් තවත් සමාජ සත්කාරයන් රාශියක් ක්‍රියාවට නැංවේ. උදාහරණයක් ලෙස, ග්‍රාමීය ප්‍රදේශ වල සිසු සිසුවියන් සවිබල ගැන්වීමේ අරමුණින් ඔවුන්ට පොත්පත් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා රිදී විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන වැඩසටහන මේ වනවිට වසර 17 ක් තිස්සේ පවත්වා ඇත. පසුගිය වසර තුළදී පමණක් දරු දැරියන් 14,400 කට අත්වැලක් වීමට ඇට්ලස් සමාගම සමත් වී තිබේ. එය ඇට්ලස් සමාගමේ සමාජ මෙහෙවර කෙතරම් දුරකට ව්‍යාප්ත වී තිබේද යන්න පැහැදිලිව පෙන්වා දෙන සාධකයකි.

අවසන් වශයෙන් අසිත සමරවීර මහතා කියා සිටියේ, මෙම සත්කාරය සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන්ට සහ ඇට්ලස් කණ්ඩායමට තම ස්තූතිය පිරිනමන බවයි. “මේ පණිවිඩය මුළුමහත් සමාජය සමගම බෙදාගන්න. එය පාසල් හැර යන දරුවන් සංඛ්‍යාව අවම කිරීමට මහෝපකාරී වේවි.” ඒ මහතා පැවසී ය.

ඇට්ලස් සිප්සවි වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.atlassipsavi.lk.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව