73 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේදී විරේන් සහ රනිත්මා ඒකල ශූරතාව රැක ගනිති

Badminton (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ  73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත ඒකල ශූරතා කාන්තා හා පිරිමි ශූරතා දිනා ගනිමින් පිට පිට දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශුරයා සහ ශූරිය ලෙස කිරුළු පැලඳීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ.  ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත් වූ මෙවර ශුරතාවලියේ විවෘත ඒකල පිරිමි අවසන් තරගයේදී ලකුණු 21-10ක් සහ 21-14ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කිරීමට විරේන් නෙත්තසිංහ සමත් වූ අතර, විවෘත කාන්තා ඒකල අවසන් තරගයේදී රෂ්මි මුදලිගේ ලකුණු 21-12ක් සහ 21-18ක් ලෙස පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය.




ඉතිහාසයේ පළමුවරට වාර්තාගත ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1525ක් තරග වැදුණු 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශුරතාව සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග දිනා ගනු ලැබුවේ ලකුණු 21-15ක්, 18-21ක් සහ 21-15ක් ලෙස ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුර පරාජයට පත් කරමනි. ලකුණු 21-13ක් සහ 21-18ක් ලෙස දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ පරාජයට පත් කළ වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගැනීමට සමත් වූහ. විවෘත මිශ්‍ර යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 12-21ක්, 21-18ක් සහ 21-15ක් ලෙස ආශිංස හේරත් සහ රෂ්මි මුදලිගේ පරාජයට පත් කළ තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි විසිනි.

වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවති ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශුරතාව දිනා ගැනීමට කෙනත් අරුග්ගොඩ සමත් වූයේ ලකුණු 21-19ක් සහ 21-15ක් ලෙස හිරුක සහනමිත් පරාජය කරමිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශුරතාව දිනා ගනු ලැබුවේ සෙනුදි අමරසිංහ ලකුණු 21-7ක් සහ 21-9ක් ලෙස පරාජයට පත් කළ නෙත්මි රත්නායක විසිනි. පමිත් අත්තනායක සහ තිඩස් ඉරූෂික ලකුණු 21-18ක්, 16-21ක් සහ 22-20ක් ලෙස පරාජයට පත් කළ තෙනුල් ගනේවත්ත සහ නෙතිල් තෙව්මික 19න් පහළ බාලක යුගල ශූරතාව දිනාගත් අතර,  තිසේජා හේරත් සහ කොමුතු කුමාරප්පෙරුම ලකුණු 21-17ක් සහ 21-16ක් ලෙස පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ  බාලිකා යුගල ශූරතාව දිනා ගැනීමට දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ සමත් වූහ.

මැක්ලන්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර, McFoil, Mobil, Li Ning, 3M සහ GAC ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අනුග්‍රාහකත්වය සපයා තිබිණි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව