ඉදිරියේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේදී සහ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කර දීම විශාලතම බලාපොරොත්තුව බව 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල ශූරතාව සහ යුගල ශූරතාව දිනා ගත් ජාතික බැඩ්මින්ටන් ශූරිය වන රනිත්මා ලියනගේ ප්‍රකාශ කළාය. බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 16 හැවිරිදි සිසුවියක වන රනිත්මා පසුගියදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන ක්‍රීඩාගාරයේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දකුණු පළාත නියෝජනය කරමින් කාන්තා බැඩ්මින්ටන් ද්විත්ව ශූරතාවට අමතරව තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට ද පත් වූවාය.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා බැඩ්මින්ටන් ඒකල අවසන් මහා තරගයේදී වයඹ පළාතේ ප්‍රවීණා විජේසුන්දර පරාජය කළ ඇය කාන්තා යුගල අවසන් මහා තරගයේදී නදීෂා ගයාත්‍රි සමඟ එක්ව බස්නාහිර පළාත නියෝජනය කළ කාවින්දි ඉෂාදිකා සහ බුත්මි ගලගමගේ පරාජයට පත් කළාය.
පසුගිය ජනවාරි මාසයේදී පැවැති 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල ශූරතාවත්, කාන්තා යුගල ශුරතාවත් දිනා ගත් රනිත්මා එම තරගාවලියට සමගාමීව පැවැති 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශූරතාව ද අත්කර ගත්තාය.
සිය බැඩ්මින්ටන් ක්‍රීඩා දිවියේ සාර්ථකත්වය ගැන අදහස් පළ කරමින් ඇය සඳහන් කළේ කැපවීමෙන් යුතුව පුහුණුවීම් කරන්නේ නම් ඕනෑම යොවුන් ක්‍රීඩිකාවකට ඉදිරියට යෑමට අවස්ථාව උදා වන බවය. සිය ජයග්‍රහණ වෙනුවෙන් සහාය දුන් සියලුම පුහුණුකරුවන්ටත්, පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ටත්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ටත් තුති පුද කරන බව ඇය කියා සිටියාය.