2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස නිමාව දකී

Image 03 (LBN)

 



 

 

2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර පසුගිය නොවැම්බර් 05 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන රිට්ස්බරි, මෙවරත් ඒ සඳහා පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි.

ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානයකරන ලද මෙම තරගාවලියට වයස අවුරුදු 12 න් පහළ සිට 15 න් පහළ දක්වා කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහි මූලික තරග වට බෙලිඅත්ත, මහනුවර, බණ්ඩාරගම සහ යාපනය යන ප්‍රදේශවල පැවැත්වුණු අතර, එම තරගවලට 15,000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වීම විශේෂත්වයක් විය.

බාලක කාණ්ඩයේ සමස්ත ජයග්‍රහණය වාර්තාකරන ලද්දේ ලකුණු 44 ක් ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලය විසිනි. ලකුණු 42.5 ක් ලබාගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි විය. බාලිකා කාණ්ඩයේ සමස්ත ශූරතාව ලකුණු 83 ක් ලබාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට හිමි වූ අතර, ලකුණු 57 ක් ලබාගත් වත්තල ලයිසියම් විද්‍යාලය විසින් එහි දෙවැනි ස්ථානය දිනාගන්නා ලදි. වයස අවුරුදු 15 න් පහළ උස පැනීමේ ඉසව්වේදී මීටර් 1.90 (ලකුණු 827) ක් වාර්තා කළ ශාන්ත තෝමස් මූලික පාසලේ එස්. ප්‍රිබාසිත් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත් වූ අතර, දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.64 (ලකුණු 921) ක් වාර්තා වත්තල ලයිසියම් විද්‍යාලයේ පී. ආර්. ඒ. ඩී. නෙත්සරා එහි විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

“පාසල් මට්ටමින් ක්‍රීඩාව නගාසිටුවීමේ අරමුණින් දශකයකට අධික කාලයක් තිස්සේ මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. සෑම වසරකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව මෙන්ම දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ඉහළ යනවා අපට පෙනෙනවා. එමෙන්ම සුපුරුදු ලෙසම මේ වසරේදීත්, ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය මගින් නම්කරන ලද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳවත් අප බෙහෙවින් සතුටු වනවා.” CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය.

“ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ එකම අනුග්‍රාහකයා වශයෙන්, පාසල් මට්ටමින් ක්‍රීඩාව නගාසිටුවීම සඳහා රිස්ට්බරි විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. කෙතරම් අභියෝග පැමිණියත් මෙම තරගාවලිය හරහා රටේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට රිට්ස්බරි දරන උත්සාහය ප්‍රශංසනීයයි. එමෙන්ම රිට්ස්බරි ගත් උත්සාහය නිසා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් වැඩි සහභාගීත්වයක් දක්නට ලැබීමත් අපට මහත් සතුටක්.” ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල් ප්‍රනාන්දු මහතා පැවසී ය.

මෙම තරගාවලියේ මූලික අදියරක් යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට රිස්ට්බරි පියවර ගැනීම විශේෂත්වයක් වූ අතර, මෙරට තුළ ක්‍රීඩාව සවිබලගැන්වීම මෙන්ම දිවයිනේ සියලුම පළාත්වලට සම අවස්ථා ලබාදීම එහි අරමුණ විය. ක්‍රීඩා ඉසවු සඳහා සාමාන්‍යයෙන් උතුරු හා නැගෙනහිර පළාත්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  සහභාගීත්වය සීමිත තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන අතර එම තත්ත්වය වෙනස් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීමේ අරමුණින් රිට්ස්බරි මෙම පියවර ගෙන තිබිණි. එම තරග වටයට උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරමින් 1,000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වීම මගින් පෙනී ගියේ රිට්ස්බරි ගත් එම උත්සාහය බෙහෙවින් සාර්ථක වූ බවයි.

මෙම වසරේදීත් සුපුරුදු පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුට රිට්ස්බරි අනුග්‍රහයෙන් ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන්නේ:

කේ. එල්. අයෝමාල් අකලංක (අඹගමුව මධ්‍ය මහ විද්‍යාලය). ජී. එල්. අර්ථවිදු (ඩී. එස්. සේනානායක විද්‍යාලය), ආර්. පී. නිලුපුල් පැහැසර (විජිත මධ්‍ය මහ විද්‍යාලය), එම්. කේ. එන්. වික්‍රමසිංහ (වික්‍රමබාහු විද්‍යාලය ගම්පොළ), එස්. හංසිකා මුණසිංහ (අඹගමුව මධ්‍ය මහ විද්‍යාලය), තුෂේන් මහීන්ද්‍රරත්න (මාරිස් ස්ටෙලා විද්‍යාලය), ජී. ඩබ්ලිව්. ජත්‍ය කිරුළු (මහින්ද විද්‍යාලය), ඩී. ප්‍රදීපනී වික්‍රමසිංහ (වික්‍රමබාහු විද්‍යාලය ගම්පොළ), ටී. සන්දිල් (ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය), කේ. ටී. නුහන්ෂා (මාතර මධ්‍ය මහ විද්‍යාලය), ඕ. කොඩිකාර (ශාන්ත ලෝරන්ස් විද්‍යාලය), සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ එස්. හංශක, ජේ. විජේතුංග, එස්. කුලරත්න, එස්. සදිත්‍ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව