2022 ලෝක තයිරොයිඩ් දිනය සැමරීම සඳහා Ninewells රෝහලෙන් දැනුවත් කිරීමක්

Neonatal TSH Testing Facility at Ninewells Hospital

 



 

 

 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන Ninewells රෝහල විසින්, මෙවර (2022) මැයි 25වන දින ලෝක තයිරොයිඩ් දිනය සැමරීම වෙනුවෙන් අලුත උපන් බිළිඳුන්ගේ ‘උපතින් ම ඇතිවන මන්ද තයිරොයිඩතාව ( Congenital Hypothyroidism )’ කල්තියා හඳුනා ගැනීමේ සහ ඒ සඳහා නිසි ප්‍රතිකාර කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරුණි.

උපතින් ම ඇතිවන මන්දතයිරොයිඩතාව (CHT) යනු උපතේ දී ම තයිරොයිඩ් ග්‍රන්ථිය නොපිහිටීම හෝ ප්‍රමාණවත් පරිදි තයිරොයිඩ් හෝමෝනය නිපදවීමට නොහැකි, තයිරොයිඩ් ග්‍රන්ථියක් පිහිටීමයි.  සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ළදරුවන් 4,000 කින් 1 ක් අයෙකුට මෙම තත්ත්වය දරුණු ආකාරයෙන් පිහිටන අතර, මෙම තත්ත්වය මඳ වශයෙන් පිහිටන අවස්ථා  බහුලව දැකිය හැකිය.  මේ සඳහා  නිසි ප්‍රතිකාර නොකළහොත් ඔවුන්ගේ මොළයේ වර්ධනයට මෙන් ම ළමා වියේ දී හා නව යොවුන් වියේ දී ඔවුන්ගේ සාමාන්‍ය වර්ධනයට ද බලපෑම් ඇති කළ හැකිය.  එමෙන් ම මෙම තත්ත්වය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කළහොත්, මන්දතයිරොයිඩතාව නිසා ඇතිවියහැකි හානිකර බලපෑම් සම්පූර්ණයෙන් ම වළක්වා ගත හැකිය.

“ශ්‍රී ලංකාවේ  පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම ළමා රෝහල විදියට මේ වසරේ ලෝක තයිරොයිඩ් දිනය සැමරීමේ දී උපතින් ම ඇතිවන මන්දතයිරොයිඩතාවේ බරපතලකම ගැන මේ රටේ ජනතාවගේ  අවධානය යොමු කරවීමට අපට අවශ්‍ය වුණා.  උපතින් ම ඇතිවන මන්දතයිරොයිඩතාව  දරුවෙකු බිහිවීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ වර්ධනයට අහිතකර ලෙස බලපාන තත්වයක්.  මේ හේතුව නිසා ම එම රෝගී තත්ත්වය කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්. මෙම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර උපතින් පසු පළමු සති දෙක තුළ ක්‍රමානුකූලව ආරම්භ කළ යුතුයි.” යනුවෙන් Ninewells රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා පැවසීය.

අලුත උපන් බිළිඳුන් පරීක්ෂා කිරීම සඳහා වන ජාතික වැඩසටහනට සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකේය ජාතියක් බිහිකිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා  Ninewells රෝහල 2021 වසරේ දී තයිරොයිඩ්-උත්තේජන හෝර්මෝන (TSH) පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළ අතර, ඊට සමගාමීව Ninewells රෝහල 2021 වසරේ දී මෙම පරීක්ෂණ 8,000 කට අධික ප්‍රමාණයක් සහ 2022 ජනවාරි සහ මැයි මාස අතර කාලයේ දී පරීක්ෂණ 2,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබේ.

තයිරොයිඩ්-උත්තේජන හෝමෝන (TSH) පරීක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ මෙරට පෞද්ගලික අංශය තුළ TSH පරීක්‍ෂණ සිදුකරන ප්‍රථමයා බවට මෙන් ම, මෙම පරීක්‍ෂණ සේවාව ශ්‍රී ලංකාව තුළ ලබා දෙන රෝහල් දෙකෙන් එකක් බවට ද Ninewells රෝහල පත් විය.

“CHT සඳහා වන පරීක්‍ෂණය ක්‍රමවේදය, heel prick test මගින් සිදු කරන සරළ ක්‍රියාවලියක්. ඒ වගේ ම Ninewells රෝහල මගින් මෙම පරීක්ෂණය සිදුකරගන්නා විට පරීක්ෂණ වාර්තාව දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ලබා ගැනීමට හැකියාව තිබෙන නිසා, අදාළ ප්‍රතිකාර කටයුතු  ඉක්මණින් ආරම්භ කිරීමට එය ඉතා වැදගත්. ”වෛද්‍ය විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

Ninewells රෝහල ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන අතර, එමඟින් ප්‍රසව, නාරිවේද, ළමා රෝග සහ දරුඵල සාඵල්‍යතාව වැනි විවිධ වූ විශේෂිත සේවාවන් රැසක් සපයයි. මෙරට ශක්තිමත් සමාගම් සමූහයක් වන  Access Group of Companies හි අනුබද්ධිත ආයතනයක් වන Ninewells රෝහල, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා සෞඛ්‍ය ඉහළ නැංවීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව