හෙට දවසේ නායකයින් දිරිමත් කරමින් සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියන 22 ක් වටිනා නව ප්‍රණාම ශිෂ්‍යත්ව පිරිනමයි

Pranama scholarships presentation 2024 (LBN)

හෙට දවසේ නායකයන් වීමේ ඉහළ විභවයක් ඇති ලෙස හඳුනාගත් දරුවන් 152 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 23 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

ඉහළ ජයග්‍රහණ ලබන රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට ත්‍යාග පිරිනැමීම හා දිරිගැන්වීම සඳහා 2002 වසරේ දී ආරම්භ කළ ආයෝජනය අඛණ්ඩව පවත්වාගෙන යමින්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණයේ වෙළඳපල ප්‍රමුඛයා විසින් අංශ 4ක් යටතේ මෙසේ වටිනා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.
 



 

මෙතෙක් සිදු වූ ශිෂ්‍යත්ව ප්‍රදාන තුළින් සෙලින්කෝ ලයිෆ් විසින් සිසුන් 3,186 දෙනෙකු සඳහා රුපියල් මිලියන 200 ඉක්මවූ ශිෂ්‍යත්ව පිරිනමා ඇත. අද වන විට පසුගිය ප්‍රණාම ශිෂ්‍යත්වලාභීන් බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ගණකාධිකාරීවරුන්, ගුරුවරුන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් ලෙස රටට සේවය කරයි.

උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේ, සෙලින්කෝ ලයිෆ් හි ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන දක්ෂ සිසුන්හට සාර්ථක සිසුන් බවට පත් වීමට පෙළඹවීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. තම ජීවිත කාලය පුරා සෑම දිනක ම ඉගෙන ගන්නෙකු වීමට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප සහ මානසිකත්වය ලබා ගැනීමේ දී KSAM ආකෘතියේ ඇති වටිනාකම ඔහු තවදුරටත් අවධාරණය කලේ ය.

සිසුන්හට සෑම දිනකම තමන් ඉගෙන ගන්නා දේ බාහිර මතකයේ සිට ගැඹුරු මතකය දක්වා සහතික වශයෙන් ම සංක්‍රමණය කරගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව වටිනා අදහස් ලබා දුන් මහාචාර්ය විදානපතිරණ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ තම මෘදු කුසලතා වර්ධනය කර ගැනීම, කණ්ඩායම් හැඟීම, සන්නිවේදනය, හා අන් අය කෙරෙහි විශ්වාසය සහ සැලකිල්ල දැක්වීමේ වැදගත්කම යි. තවද, දරුවෙකුගේ වයස අවුරුදු පහ වන විට ආකල්ප වලින් සියයට 95 ක් ම ගොඩනැගෙන බව අනාවරණය කරමින්, එතුමා දරුවන්ගේ මුල් අධ්‍යාපනයේ වැදගත්කම ද අවධාරණය කළේ ය.

සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා සිය පිළිගැනීමේ කතාවේ දී පැවසුවේ, අධ්‍යාපනයේ ගුණාත්මක බව මත මෙරට අනාගතය රඳා පවතින්න අතර ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබුණ ද එහි අඩුලුහුඬුකම් තවමත් පවත්නා බවයි. අද, කෘත්‍රීම බුද්ධිය යුගයේ දී කුඩා ජංගම දුරකථනයක් හරහා විශ්වීය දැනුම් සම්භාරයකට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී ඇති වකවානුවක, පවතින අධ්‍යාපන ක්‍රමය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වන ලෙස නවීකරණය විය යුතු බව ද ඔහු පැවසුවේ ය.

‘නවීන වන්න, නමුත් සම්ප්‍රදායට ගරු කරන්න’ යන mod-tradi සංකල්පය ගෙනහැර දක්වමින් අබේනායක මහතා තවදුරටත් අවධාරණය කළේ, තාක්ෂණීක දියුණුව රටට අත්‍යවශ්‍ය වන අතර, සම්ප්‍රදායන්ට ගරු කිරීම, සාරධර්ම සහ වටිනාකම් පිළිපැදීම ද ඒ හා සමානව ම වැදගත් වන බවයි.

සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් 2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 29 දෙනෙකුටත්, 2022 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනෙකුටත්, 2022 අ.පො.ස. (උසස් පෙළ) දිස්ත්‍රික්කවල ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනෙකුටත්, එසේම එම විභාගයේදීම 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 64 දෙනෙකු සඳහාත් ශිෂ්‍යත්ව පිරිනැමිණි. තවද ක්‍රීඩා, සෞන්දර්්‍යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්‍ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ සිසු දරුවන් හට කුසලතා සම්මාන 9 ද පිරිනමන ලදී.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව