සෞඛ්‍ය සේවකයින්ගේ කුසලතා සංවර්ධනය ඉහළ නැංවීමේ සිය කැපවීම APHNH යළි අවධාරණය කරයි

Image (7)

 




 

 

“සාධාරණ, යුක්තිගරුක හා සෞඛ්‍ය සම්පන්න ලෝකයක්” උදෙසා පුහුණු කිරීම් හා කුසලතා සංවර්ධනය ඉහළ නැංවීම තුළින් සෞඛ්‍ය සේවකයා සවිබලගැන්වීමේ සිය කැපවීම පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) යළිත් අවධාරණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක් වූ පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා “අපගේ සමාජයේ හා රටේ සිටින සෞඛ්‍ය සේවකයින් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ඇගයීමටත්, හඳුනා ගැනීමටත් කොවිඩ්-19 වසංගතය අප සියලු දෙනාටම බල කර තිබෙනවා. දැන් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි පීඩනවලට මුහුණ දෙමින් සිටින පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන් සවිබල ගැන්වීම හා මෙම ඇගයීම අඛණ්ඩව පවත්වා ගෙන යාමයි. මෙම අරමුණ සැබවින්ම සාක්ෂාත් කරගැනීමට සහ සාධාරණ හා සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීමට කැපවීමට නම් එහි පළමු පියවර විය යුත්තේ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවක කාර්ය මණ්ලයට ලබා දෙන අධ්‍යාපනය හා පුහුණුවීම් ඉහළ නැංවීමයි. මෙම නව යථාර්තයට සූදානම් වීම සඳහා පෞද්ගලික සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්‍රමිතීන් සහතික කරගනිමින් අපගේ සෞඛ්‍ය සේවකයින් සඳහා අප ආයෝජනය කළ යුතුයි.” යනුවෙන් පැවසුවේය.

මේ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව (PHSRC) යන ආයතනවල සහාය ඇතිව APHNH පුද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට අයත් සෞඛ්‍ය සේවා වෘත්තිකයින් පුහුණු කිරීම හා කුසලතා සංවර්ධනය කිරීම සඳහා එම ආයතන සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම (MOU) මෑතකදී අලුත් කරන ලදී. මෙයට හෙදියන් පුහුණුව සඳහා NVQ 6 හෙද පාඨමාලාවක්, PHSRC හි අනුමැතිය ඇතිව හෙදියන් ලැයිස්තුගත කිරීම සඳහා වූ පරීක්ෂණයකට අදාල පාඨමාලාවක් හා පොෟද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය හෙද ආචාර්යවරියන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ඇතුළත් වේ.

වසර තුනක හෙද පාඨමාලාව හැදෑරීමට නොහැකි වූ හෙද හෙදියන්ට එම දැනුම සම්පූර්ණ කිරීම සඳහා PHSRC හි අනුමැතිය ඇතිව විශේෂ පාඨමාලාවක් සකස් කරනු ලැබූ අතර NAITA ආයතනය මගින් පවත්වනු ලබන තරගකාරී පරීක්ෂණයකින් පසුව ඔවුන් එයට ඉදිරිපත් වනු ඇත. වසර තුනක පාඨමාලව හැදෑරූ හෙදියන් ද මෙම විභාගයට සහභාගී වේ. මෙම විභාගයෙන් සමත් වන හෙදියන් පෞද්ගලික සේවයේ හෙදියන් ලෙස PHSRCහි ලැයිස්තුගත කෙරේ.

ආචාර්ය ලකිත් පීරිස් මහතා පවසන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව සඳහා ඇති ඉහළ යන ඉල්ලුම සපුරාලීමට සහ හෙද හෙදියන් හා විශේෂ වෛද්‍ය සහායක සේවකයින්ගේ ඇති හිඟය පියවීම සඳහා හෙද පුහුණු පාඨමාලා හා අනෙකුත් අදාල පුහුණු පාඨමාලා අත්‍යාවශ්‍ය සාධකයක් වන බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනයට අනුව 2018 දී ශ්‍රී ලාංකිකයින් දහසකට ආසන්න වශයෙන් හෙදියන් දෙදෙනෙකු සිටි අතර පුද්ගලයින් දහසකට හෙදියන් 3.81ක් වන ලෝක ජනගහන සාමාන්‍ය හා සැසඳීමේදී එය බෙහෙවින් පහළ අගයක් ගනී (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2018). ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2030 වන විට 5000-6000ත් අතර හෙද වෘත්තිකයින්ගේ හිඟයක් පවතිනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

තවද APHNH ඔවුන්ගේ පුළුල් අධ්‍යාපනික පුහුණු විෂය මාලාවට සහයක ඖෂධවේදී සහ වෛද්‍ය රසායනාගාර තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් ද ඇතුළත් කර තිබෙන අතර විවිධ ක්ෂේත්‍ර සඳහා සේවාස්ථ පුහුණුවීම් (in-service training) ද ආරම්භ කර ඇත.

“කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේදී සෞඛ්‍ය සේවකයින්ගේ පරාර්ථකාමී කැපවීම අගය කරමින් 2021 වසර සෞඛ්‍ය සේවකයා වෙනුවෙන් නම් කර තිබීම කැපී පෙනෙනවා. අපගේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට අප කෘතඥ වන අතර අපගේ අරමුණ වන්නේ කුසලතාවලින් යුත් විශේෂයෙන්ම වෛද්‍ය සහායක සේවාවල නියුතු සේවකයින් හා වෛද්‍ය තාක්ෂණ නිලධාරීන් අඛණ්ඩවම පෞද්ගලික සෞඛ්‍ය සේවාව සඳහා එක් කර ගැනීමයි. ඒ වෙනුවෙන් අපගේ සෞඛ්‍ය සේවකයින්ගේ පුහුණු කිරීම් හා කුසලතා ඉහළ නැංවීම සඳහා අප තවදුරටත් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන් ආචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව