සෞඛ්‍යමත් මාංශ නිෂ්පාදන පිරිනැමීමේ නිව් ඇන්තනීස් පොරොන්දුව

New Anthoney’s (LBN)

දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂෂ්පාදන කර්මාන්තය පැවැතියේ පැහැදිලි පාරදෘශ්‍යතාවකින් නොවේ. පාරිභෝගිකයින් විසින් ආහාරයට ගනු ලබන මාංශ ආහාර ‘සුරක්ෂිත‘ යැයි ප්‍රකාශ කෙරුණද ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත්වූයේ නැත. විවිධ අලෙවිකරණ සහ ප්‍රචාරණ වැඩසටහන් මගින් මාංශ ආහාරවල සෞඛ්‍යමත් බව ගැන කියැවුණ ද, ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ ප්‍රතිජීවකවලින් තොරව දැයි කිසිකෙනෙකු ප්‍රශ්න කළේ  ද නැත.

මෙම ප්‍රවණතාවට තිත තබමින් සිය හරිතහරි කුකුළු මස් නිෂ්පාදනය සමඟින් පිරිසිදු, පාරදෘශ්‍ය සහ මුළුමනින්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමටත්, තම නිෂ්පාදනයේ ගුණාත්මකබව ගැන පූර්ණ වගවීමක් දැරීමටත් නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය පියවර ගෙන තිබේ.
 



 

මෙහි විශේෂත්වය වන්නේ එය හුදෙක් තිරසර වැඩපිළිවෙළක් පමණක් නොව මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයටම ඍජු අභියෝගයක් එල්ල කිරීමකි.

ප්‍රතිජීවකවලින් තොරවීම වැදගත් වන්නේ ඇයි?

 ගොවිපොළ සත්ත්වයින්ට අධික ලෙස ප්‍රතිජීවක ලබාදීමෙන් ආහාර සුරක්ෂිතතාවයට මතුවන අවදානම පිළිබඳ ලෝකය පුරා ප්‍රබල කතාබහක් නිර්මාණය වී තිබේ. ලෙඩරෝගවලට එරෙහිව පමණක් නොව සතුන්ගේ වර්ධනයට සහ වෙනත් ආසාදන නිර්මාණය වීම වැළැක්වීමේ අරමුණින් ප්‍රතිජීවක භාවිත කිරීම මාංශ නිෂ්පාදන කර්මාන්තය තුළ ජනප්‍රිය වී තිබේ. ඉන් ඇතිවන භයානක මහජන සෞඛ්‍ය අනතුර වන්නේ මිනිසුන් ප්‍රතිජීවක ප්‍රතිවිරෝධීතාවට ලක්වීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට වර්ෂ 2050 වනවිට ඖෂධ ප්‍රතිවිරෝධතාව නිසා සිදුවන මරණ සංඛ්‍යාව, පිළිකාව හේතුවෙන් මියයන මිනිසුන් ප්‍රමාණයට වඩා ඉහළ යනු ඇත. මේ පසුපස ඇති නිහඬ සාධකය වන්නේ අනෙකක් නොව අපගේ ආහාර පද්ධතියට එකතුවන ප්‍රතිජීවක ප්‍රමාණය ඉහළ යාම යි.

එවන් පසුබිමක ජනප්‍රිය කර්මාන්ත භාවිතයවන ප්‍රතිජීවක භාවිතා කිරීමට යොමු නොවී ඉන් මුළුමනින්ම බැහැර වීමට නිව් ඇන්තනීස් සමාගම තීරණය කිරීම විශේෂත්වයකි. ප්‍රතිජීවක භාවිතයෙන් ඉවත්වීම යනු අලෙවිකරණ ව්‍යාපාරයක කොටසක් නොවේ. එය ඊට එහා ගිය ගැඹුරු ක්‍රියාවලියකි. ප්‍රතිජීවක භාවිතය අත්හැරීමට නම් ජීවාරක්ෂක ගොවිපොළක් නිර්මාණය කළ යුතු අතර, සතුන්ව නිරන්තරයෙන් පශු වෛද්‍ය අධීක්ෂණයට ලක්කළ යුතුය. සතුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළ යුතු අතර, සම්පූර්ණ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පාරදෘශ්‍යතාවකින් සිදුකළ යුතුය. වෙනත් අයුරකින් පවසතොත් එය ලාභ පෙරටුකරගැනීම වෙනුවට මිනිස් ජීවිත සහ ප්‍රජා යහපැවැත්ම පෙරටුකරගත් ක්‍රියාවලියකි.

සාක්ෂි අවැසි පොරොන්දුවක්

නිව් ඇන්තනීස් සමූහය තම මෙහෙයුම් ක්‍රියාවලියේ විනිවිදභාවයට මුල්තැනක් දී ක්‍රියාකරන ආයතනයකි. එනිසාම සෑම හරිතහරි කුකුළුමස් නිෂ්පාදන කාණ්ඩයක්ම තුන්වැනි පාර්ශ්වයේ රසායනාගාර පරීක්ෂණයකට බඳුන් කරන්නේ ඒවා 100%ක්ම ප්‍රතිජීවකවලින් තොර බව තහවුරු කරගැනීම පිණිස ය.

″අලෙවිකරණ හෝ ප්‍රචාරණ පණිවුඩ වෙනුවට ජනතාවට අවශ්‍ය කරන්නේ සාක්ෂි. එනිසා අපි වගේම ශ්‍රී ලංකාවේ සෑම මාංශ නිෂ්පාදන සමාගමක්ම ජනතාවට තමන්ගේ නිෂ්පාදනවල පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්න සමත්විය යුතුයි. එය විශේෂ තත්ත්වයක් ලබාදීමක් නොවේ. තමන්ගේ නිෂ්පාදන පිළිබඳ වගවීමක්″, යනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කරයි.

″එමෙන්ම එය කිසිදු තරගකාරී සමාගමක් විසින් භාර නොගත් අභියෝගයක්. බොහෝ සමාගම්,  සෞඛ්‍යාරක්ෂිත කුකුළු මස් ගැන කතාකළත් කිසිවෙක් ඊට අදාළ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර නැහැ″, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කර්මාන්තයේ ගුණාත්මක මට්ටම ඉහළට එසවීම

නිව් ඇන්තනීස්හි ගොවිපොළට පිවිසීමේදී කර්මාන්තශාලාවකට නොව ඉතාමත් ප්‍රවේශමෙන් රැකබලාගන්නා පරිසර පද්ධතියකට පිවිසෙන්නාක් බඳු හැඟීමක් ඇතිවේ. දැඩි ජීවාරක්ෂක පරාමිතීන් යටතේ ගොවිපොළ මෙහෙයවනු ලබන්නේ සතුන්ට රෝගාබාධ වැළඳීමට ඇති ඉඩ ඇහිරීම පිණිස ය. එමෙන්ම පමණට වඩා සතුන් ගාල්කර තැබීම ද සිදුනොවන අතර, සතුන්ට ප්‍රතිජීවකවලින් තොර ආහාර ලබාදේ.

මේ කිසිවක් ව්‍යාපාර රහස් නොවේ. ඒ සියල්ලම විවෘත ගොවිපොළකරණයේ මූලිකාංග වේ. ″අපට කර්මාන්තය වෙනස් කිරීමට අවශ්‍ය නම් අපි එය විවෘතව කළ යුතුයි. අපව විගණනයට ලක්කිරීමට හැකියි. අපව ප්‍රශ්න කළ හැකියි. කර්මාන්තයක් වෙනස්කළ හැක්කේ  විවෘත, පරීක්ෂාකළ හැකි සහ විශ්වාසකළ හැකි ප්‍රමිතීන්ට මිස අගුලු දැමූ කැබිනට්ටුවල තිබෙන ප්‍රමිතීන්ට නොවේ,″ සුරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම රැඩිකල් විනිවිදභාවය හුදෙක් ආචාර ධර්ම පසුපස ගමන්කිරීමක් නොව; වාණිජ අවදානමක් ගැනීමකි. ජෛව ආරක්ෂණය සහ සුභසාධනය මත පදනම් වූ පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. ඊට දිගු කාලයක් ගතවේ. එය ව්‍යාපාර ලාභය අඩුකරයි. නමුත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සත්‍යතාව ළබැඳියාවෙන් වැළඳගනු ඇති බව නිව් ඇන්තනීස්හි විශ්වාසය යි.

ලේබලය බේගලයක් නොවීම

නිව් ඇන්තනීස් සමූහය මේ ක්‍රියාවලියේදී ඉතා ගැඹුරට ගමන්කර තිබේ. සමාගම බලධාරීන්ගෙන්, පාරිභෝගික කණ්ඩායම් සහ සෙසු තරගකාරී සමාගම්වලින්  ‘මුළුමනින්ම ප්‍රතිජීවක නොමැති‘ ප්‍රමිතියක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටී.

එවන් ප්‍රමිතියක් හරහා ස්වාධීන තහවුරු කිරීමකින් තොරව සෞඛ්‍ය සම්පන්න හෝ ‘ප්‍රතිජීවකවලින් තොර‘ යන ලේබල භාවිත කිරීම නීතිවිරෝධී බවට පත්වේ. එවැනි ලේබලයක් මගින් මාංශ ආහාර නිෂ්පාදනයේ කිසිදු පියවරකදී ප්‍රතිජීවක භාවිතකර නොමැති බව සහතික කළ යුතු අතර විනිවිද භාවයකින් පරීක්ෂණ පැවැත්වීම කළ යුතුය. අනුකූලතාවයෙන් තොර විටදී දඬුවම් කිරීම ද කළ යුතුය.

″ප්‍රතිජීවකවලින් තොර යැයි ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එය තහවුරු කළ යුතුයි. එසේ නැත්නම් එය අසුරනයක ලස්සනට ලියූ බොරුවක් පමණයි″, සුරවීර මහතා පෙන්වාදෙයි.

සැබෑ බලය ඇත්තේ පාරිභෝගිකයින් අත ය

මෙහි අභියෝගය කර්මාන්තයට එල්ල වී තිබුණත්, එහි සැබෑ බලය ඇත්තේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සතුව ය. ‘හරිතහරි‘ නිෂ්පාදන තෝරා ගන්නා සෑම නිවසක්ම නිසි ලෙස නිෂ්පාදනය නොකළ කුකුළු මස් අපි තවදුරටත් පිළිගැනීමට සූදානම් නැති බවට පණිවුඩයක් ඉදිරිපත් කරයි.  ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය පෝෂණය කිරීමට තමන් නිහඬව හෝ හවුල්කරුවන් නොවන බව ඔවුහු ප්‍රකාශ කරන්නේ එලෙසිනි.

‘හරිතහරි‘ කුකුළු මස් යනු මිලාධික ඇති සුඛෝපභෝගී ආහාරයක් නොව සාමාන්‍ය ජනතාවටත් ප්‍රවේශ විය හැකි ආහාරයක් බවට පත්කරනු පිණිස දිවයින පුරා සිල්ල අලෙවිසැල් හරහා ද එය බෙදාහැරේ. එය ආහාර සුරක්ෂිතතාව ප්‍රජාකරණය කිරීමක් ලෙස ද හැඳින්විය හැක. එය කුකුළුමස් සඳහා විශේෂිත මිලක් නියම කිරීමක් නොව, මෙරට සෑම කුකුළුමස් නිෂ්පාදනයකම තිබිය යුතු සැබෑ අවම වටිනාකම හඳුන්වාදීමකි.

නොවැළැක්විය හැකි බාධා

යමක් පළමුවරට කිරීමේදී ඇතිවන අවදානම් එමට ය. මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය යනු පුළුල්, තරගකාරී සහ ඉතාම මිල සංවේදී කර්මාන්තයකි. එනිසාම කර්මාන්තයෙන් මතුවන බාධා බොහෝ ය. තරගකාරී ආයතන මෙම පියවර අලෙවිකරණ උපායක් ලෙස ප්‍රතික්ෂේප කළ හැකිය. ප්‍රතිජීවක භාවිතයෙන් පසු ඉන් බැහැරව සිටින කාලපරිච්ඡේදයක් පෙන්වමින් සිය කුකුළු මස් ආරක්ෂිත බව ඔවුන් කියා සිටිය හැකිය.

එහෙත් ප්‍රතිජීවක භාවිත කර, කෙටි කාලයක් භාවිත නොකරසිටීමෙන් ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතාව නැතිවන්නේ නැත. එමෙන්ම එය ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතාව මුළුමනින්ම බැහැරකරන ලෙස ඉල්ලා සිටින පාරිභෝගිකයින්ට අවංක වීමක් ද නොවේ.

අනෙක් හැම සමාගමක්ම වාගේ සත්‍යයට මුහුණ නොදී සැඟවී සිටිනවාට වඩා සත්‍යයට මුහුණ දී ලැබෙන දැඩි අභියෝග භාරගැනීම අපට සතුටක්, නීල් සුරවීර මහතා තවදුරටත් පවසයි.

අනාගත ආහාර ගැන නැවත කියවීමක්

මෙය කිසි ලෙසකින්වත් ප්‍රචාරණ ව්‍යාපෘතියකට පමණක් ලඝු කළ නොහැක්කකි. මෙය ශ්‍රී ලංකාවේ ආහාර අනාගතය ගැන යළිත් සිතාබැලීමට කරන අයදුමකි. විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ පාරිභෝගිකයින්ට වගකීමෙන් බැඳෙන කර්මාන්තයක් දිනෙන් දින දියුණුවනු ඇත. පැරණි ක්‍රමවේදවලම සිරවී සිටින සහ අලෙවිකරණ උපාය මත රඳෙන කර්මාන්තයක් යහපත අපේක්ෂා කරන පරපුරක් හමුවේ විනාශයට පත්වනු ඇත.

අනාගතය පැමිණෙන තුරු බලාසිටිනු වෙනුවට අනාගතය ගොඩනැඟීමට නිව් ඇන්තනීස් සමූහය වෙහෙසෙන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තය දැන් ඇත්තේ මංසන්ධියක ය. එක් මාවතක් දිග හැරෙන්නේ බාල උපායන්ගෙන් යුතු රහසිගත සහ අලෙවිකරණ ප්‍රචාරණ මත රැඳුණු කර්මාන්තය කෙරෙහි ය. අනෙක වැටී ඇත්තේ උසස් ප්‍රමිතීන්, විවෘත විගණන සහ මහජන සෞඛ්‍ය පිළිබඳ  සැබෑ වගකීමක් දරන දුෂ්කර මාර්ගයකි. ඉන් කුමන මාවත තෝරාගන්නේ ද යන තීරණය මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය අභිමුව තිබේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව