සෙලින්කෝ ලයිෆ් 2023 ප්‍රතිඵල සමඟ වසර 20ක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයක් ලබා ගනී

Chairman Mr R. Renganathan and Managing Director CEO Mr Thushara Ranasinghe (LBN)

ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ දශක දෙකක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයේ සන්ධිස්ථානය අත්පත් කර ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් වන වසර තුළදී විශිෂ්ඨ වාරික ආදායම් සහ ඒකාබද්ධ ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත.

සමාගම  විසින් 2023 දී රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය සියයට 22 ක වර්ධනයකි. සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් බිලියන 33.41 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 28 ක ආයෝජන සහ අනෙකුත් ආදායමක් ලබා ඇති අතර එය, පිළිවෙලින් සියයට 14.6 ක සහ සියයට 39.5 ක වැඩි දියුණු වීමකි.

 



 

එහි ප්‍රතිඵලයක් වශයෙන් සලකා බලන මාස 12 සඳහා සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 61.4 ක් වූ අතර එය 24.7% ක ඉහළ මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කළේය. ගෙවී ගිය වර්ෂය තුළ පැවැති සමාජ-ආර්ථික අභියෝග සන්දර්භය තුළ එය කැපී පෙනෙන ජයග්‍රහණයක් බව සමාගම පවසයි.

සෙලිනකෝ ලයිෆ් හි ජීවිත අරමුදල 2023 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 157.5 ක් දක්වා රුපියල් බිලියන 23කින් නැතහොත් සියයට 16.8 කින් වර්ධනය වී ඇති අතර, ඒ එම වසරට අදාලව කොටස් හිමියන්ගේ අරමුදලට රුපියල් බිලියන 1.97 ක් පැවරීමෙන් අනතුරුවය.

2023 දෙසැම්බර් 31 වන විට සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 224.7 දක්වා රුපියල් බිලියන 33.2 කින් නැතහොත් සියයට 17.3 කින් වර්ධනය වී ඇත. තවද, සමාගමේ ආයෝජන කළඹ මාස 12 තුළ රුපියල් බිලියන 32.2 ක නැතහොත් සියයට 19.4 ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 198.1 ක් විය.

සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේ “පසුගිය වර්ෂය තුළදී ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතතාවයන් ව්‍යාපාරවලට මෙන්ම පාරිභොගිකයින්ට ද බලපෑවේ ආයෝජන සඳහා තීරණ ගැනීම අපහසු කරමිනි.      අඛණ්ඩ 20 වන වසර සඳහා වෙළඳපළ නායකත්වය වාර්තා කිරීම සඳහා තරඟකාරීත්වය අභිබවා යාමට අප සමාගමට ඇති හැකියාව, රක්ෂණ ඔප්පු හිමියන්ගේ අනාගතය අවදානමෙන් තොර එකක් බවට පත් කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් ගොඩනගා ඇති විශ්වාසයේ සහ ආත්ම ශක්තියේ ගැඹුර පැහැදිලිව පෙන්නුම් කරයි.”

සෙලින්කෝ ලයිෆ් හි අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (CAR) 2023 වසර අවසානයේ දී සියයට 344 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වූ අතර, කර්මාන්ත නියාමකයන්ට අවශ්‍ය අවම CAR අගය වන සියයට 120 අගයට වඩා බෙහෙවින් වැඩි විය.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී ලංකාවේ ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස වර්ල්ඩ් ෆයිනෑන්ස්’ විසින් පිදුම් ලැබූ අතර, 2024 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස 18 වන වසරටත් සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් ඇමරිකානු සහතික ලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) සමඟ එක්ව 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇති අතර, 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය.

සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) සම්මාන උළෙලේදී ජීවිත රක්ෂණ අංශයේ ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා ඒකාබද්ධ රන් සම්මානය සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) විසින් පිරිනමන ලද තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ‘මූල්‍ය සේවා සහ රක්ෂණ’ කාණ්ඩයේ හොඳම වාර්තාව ලෙස තේරී පත් විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව