සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 44.18 ක වාරික ආදායමක් සමඟ 22 වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගනී

Executive Chairman Mr R. Renganathan and Managing Director CEO Mr Thushara Ranasinghe (LBN)

2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමඟ 18.96% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය තහවුරු කර ඇත.

රුපියල් බිලියන 28.25 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් ඇතුළුව සමාගම මෙම මාස 12 සඳහා රුපියල් බිලියන 72.43 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය සියයට 10.51 ක වැඩිවීමකි.

සෙලින්කෝ ලයිෆ් තම ජීවිත රක්ෂණ අරමුදලේ වටිනාකම 11.56% කින් වැඩිකර ගනිමින් 2025 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 200 ක සන්ධිස්ථානය පසුකරමින් බිලියන 201.81 ක ජිවිත රක්ෂණ අරමුදලක් වාර්තා කර ඇත. සමාගමේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය මනාව පිළිබිඹු කරමින් එහි ආයෝජන කළඹ ද රුපියල් බිලියන 253.43 ක් දක්වා 13.9% කින් වර්ධනය වී ඇත.

“ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස තවදුරටත් රැඳී සිටීමට ලැබීම පිළිබඳව ආඩම්බර වීම සාධාරණ වන අතර එය ගනුදෙනුකරුවන් අප කෙරෙහි ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබඳ සාක්ෂියක් වනවා,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. “අපගේ සාර්ථකත්වයේ අත්තිවාරම වන්නේ, දිනෙන් දින වෙනස් වන අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අප ඉදිරිපත් කරන උපායමාර්ගික ජීවිත රක්ෂණ නිෂ්පාදන සහ අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත අවදානමෙන් තොරව තබා ගැනීම අපගේ මූලික මෙහෙවර බවට පත් කර ගැනීමයි. එම මෙහෙවර ක්‍රියාත්මක කිරීමේදී විචක්ෂණශීලී සහ දූරදර්ශී ආයෝජන කළමනාකරණය අපට මනා සහයක් ලබා දෙයි.”

2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 31.07 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය පෙර වසරට වඩා රුපියල් බිලියන 6ක් නැතහොත් 24% ක වැඩි වීමකි. එහිදී සමාගම විසින් රුපියල් බිලියන 20.68 ක් එහි ජීවිත රක්ෂණ අරමුදලට බැර කර ඇත. සමාගමේ මුළු වත්කම් 2025 වසර තුළදී රුපියල් බිලියන 35.58 කින් හෙවත් 14.15% කින් රුපියල් බිලියන 287.02 ක් දක්වා වර්ධනය වී ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම මාස 12ක කාලය තුළදී කොටස් හිමියන්ගේ අරමුදලට ලාභය ලෙස රුපියල් බිලියන 3.5 ක් ඵකතු කර ඇති අතර වසර අවසානයේ දී කොටස් හිමියන්ගේ කොටස් වල වටිනාකම රුපියල් බිලියන 67.8 දක්වා වර්ධනය විය.

සමාගම 2025 වසර සඳහා බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 11.21 ක් ලෙස වාර්තා කළ අතර එය 2024 වසරට සාපේක්ෂව 11.5% ක වැඩි වීමකි. සමාගමේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 7.85 ක් වූ අතර එය 10.97% ක වර්ධනයකි.

2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් එමගින් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස තම ස්ථානය නැවතත් තහවුරු කලේය.

පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව