සෙලින්කෝ ලයිෆ්, ජීවිත රක්ෂණාවරණයක් සමග ‘ෆියුචර් සේවර්’ ධන සමුච්චිත සැලසුම හඳුන්වා දෙයි

Future Saver launch

 




 

 

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව්‍ය ආයෝජන අවස්ථාවක් උදාකරමින් සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රැකවරණය සහ මූල්‍ය ප‍්‍රතිලාභ දෙකම ලබාදෙන ධන සමුච්චිත සැලසුමක් හඳුන්වා දී තිබේ.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තිබෙන හොඳම මූල්‍ය ප‍්‍රතිලාභ ලබාදෙන රක්ෂණ සැලසුම ලෙස මෙය ‘සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර්’ නමින් හඳුන්වාදී තිබෙන අතර ආර්ථික වශයෙන් තමන්ගේ හැකියාව හොඳින් තිබෙන කෙටි කාල පරිච්ඡේදය තුළදී රක්ෂණ ඔප්පුහිමියන්ට කෙටි කාලීන ආයෝජනයකින් දිගුකාලීන අරමුණු සැලසුම්කරණය කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙම නව ජීවිත රක්ෂණ සැලසුම නිර්මාණය කර ඇත.

මේ අනුව, රක්ෂණ ඔප්පුහිමියාගේ හැකියාව සහ ප‍්‍රතිලාභ ලබාගැනීමේ බලාපොරොත්තුව අනුව වසර 05 ක් හෝ වසර 10 ක් රක්ෂණ වාරික ගෙවා වසර 10-25 දක්වා රැකවරණය ලබාගැනීමේ අවස්ථාව ‘සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර්’ මගින් ලබාදී ඇත.

‘වෙනස් වෙමින් පවතින සමාජ ආර්ථික තත්ත්වයන්ට ප‍්‍රතිචාර දක්වමින් ජීවිත රක්ෂණ සැලසුම් අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘විශේෂයෙන්ම නව යෞවනයන්, තරුණ පරපුර, වයස අවුරුදු 25 ත් 45 අතර පුද්ගලයින්, රජයේ සහ පුද්ගලික අංශයේ විධායක නිළධාරීන් සහ කළමනාකරුවන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් සහ ස්වයං රැකියා කරන්නන් යන ප‍්‍රධාන අංශවල බලාපොරොත්තු සඵල කරන රක්ෂණ සැලසුමක් ලෙස ෆියුචර් සේවර් සඳහන් කළ හැකියි. ජීවිත රක්ෂණ ආවරණයකට එහා ගොස් ගනුදෙනුකරුවන්ට මූල්‍ය සුරක්ෂිතතාවය ලබාදීම සඳහා සෙලින්කෝ ලයිෆ් දක්වන කැපවීම් මෙමගින් තවදුරටත් සනාථ කර තිබෙනවා.’

රක්ෂණ ඔප්පුහිමියා විසින් ගෙවන මූලික වාරික මුදල පදනම් කර ගනිමින් සමාගම විසින් ගෙවන මාසික ලාභාංශ තුළින් සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර් විසින් ධන අරමුදලක් ගොඩනගන අතර මෙම අරමුදලෙන් කොටසක් ජීවිත රක්ෂණ ඔප්පුවට ගෙවීමට භාවිතා කරන අතර ඉතිරිය අරමුදලේ එකතුවේ. මෙම ධන අරමුදල ඉතාමත් පරිස්සමින් වෘත්තීය ආයෝජන කළමණාකරුවන් විසින් කළමනාකරණය කරන අතර එහි මාසිකව සිදුවන වර්ධනය මෙම කළමණාකරුවන් විසින් සහතික කරයි. මේ තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට තමන්ගේ රක්ෂණ ඔප්පුව කල් පිරෙන විට ආකර්ශනීය ඉතිරියක් කරගැනීමට අවස්ථාව ලැබෙන බව සමාගම සඳහන් කරයි. මේ නිසා, ජීවිත රක්ෂණයක් මගින් ලැබෙන ජීවිත රැකවරණය ලබාගන්නා අතරම තම විශ‍්‍රාම දිවිය හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට මුදලක් මේ මගින් ඉතිරිවන බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

මෙම නව රක්ෂණ ඔප්පුවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රක්ෂණ ඔප්පුහිමියාගේ අනපේක්ෂිත වියෝව සිදුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආදරණීයන් වෙනුවෙන් අරමුදල ගොඩනැගීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ වාරික සහතිකකරණය පිළිබඳ ඇපයක් ලබාදීමයි. එනම්, එවැනි අවස්ථාවකදී සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියා වෙනුවෙන් මූලික වාරිකය අදාළ කාලය අවසන් වනතුරු නොමිලේ ගෙවන බැවින් ධන අරමුදල දිගටම සංචිතය වේ. මේ අතර, රක්ෂණ ඔප්පුහිමියා පූර්ණ හා සදාකාලික අබලතාවයකට පත් වුවහොත් සමාගම විසින් අරමුදල සඳහා වන මූලික වාරිකයට අමතරව ජීවිත රක්ෂණාවරණය සඳහා වන වාරිකයත් නිදහස්කොට නොමිලේ ගෙවනු ලැබේ.

මෙම නවාංගය නිසා රක්ෂණ ඔප්පුහිමියාගේ අභාවයකදී වුවද ඔප්පුහිමියාගේ ආදරණීයන්ට ජීවිත රක්ෂණාවරණය හිමිවන අතරම රක්ෂණ වාරික සහතිකකරණ ප‍්‍රතිලාභය නිසා ඔප්පුව කල්පිරෙන විට ධන අරමුදලේ මුදල ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි.

මේ අතර, කලට වේලාවට රක්ෂණ වාරික මුදල් ගෙවන රක්ෂණ ඔප්පුහිමියන්ට අමතර ප‍්‍රතිලාභයක් ලෙස සමාගම විසින් ලබැඳි පාරිතෝෂික ප‍්‍රදානය කරන අතර ඒ තුළින් තමන්ගේ අරමුදලේ ශේෂය තවදුරටත් වර්ධනය කර ගැනීමට රක්ෂණ ඔප්පුහිමියන්ට අවස්ථාව හිමිවේ. සමාගම සඳහන් කරන්නේ මෙය ෆියුචර් සේවර් සැලසුමේ වඩාත්ම ආකර්ශනීය අංගයක් වන බවයි.

මේ අතර, ෆියුචර් සේවර් සැලසුමේ ආකර්ශනීය භාවය තවදුරටත් වර්ධනය කරමින් සැළසුම අරඹා අවුරුදු තුනක් ගතවූ පසුව හදිසි අවශ්‍යයතාවයකට ධන අරමුදලෙන් 10% ක උපරිමයකට යටත්ව අවස්ථා දෙකකදී මුදල් නැවත ලබාගැනීමට සමාගම විසින් අවස්ථාව ලබාදී තිබේ.

එසේම, වෛද්‍ය වියදම් හෝ විශ‍්‍රාම යනවිට හදිසි අවස්ථා සඳහා ධන අරමුදල අවුරුදු 20ක් යන තෙක් පවත්වාගෙන යාමේ විකල්පයද මෙම සැලසුම තුළ ඇතුළත්ව තිබේ. මේ අනුව, මෙහිදී, සැලසුම කල් පිරීමේදී ධන අරමුදල ලබා නොගෙන ලයිෆ් ලයින් ප‍්‍රතිලාභය තෝරාගත යුතු වේ. මෙසේ දීර්ඝ කර ගන්නා කාල සීමාව තුළදී මුදල් ආපසු ලබාගැනීමට රක්ෂණ ඔප්පුහිමියාට අවස්ථාව ලබාදෙන අතර සමාගම විසින් අරමුදලට ලාභාංශ බැර කිරීම සිදුකරයි.

ෆියුචර් සේවර් සැලසුමට සෙලින්කෝ ලයිෆ් සාමාන්‍යය රක්ෂණ සැලසුමකට හිමිවන සියළුම ප‍්‍රතිලාභ ලබාදෙන අතර හදිසි අනතුරු මරණ ප‍්‍රතිලාභ, පූර්ණ හා සදාකාලික අබලතා ප‍්‍රතිලාභ, බරපතල රෝග ආවරණය සහ රක්ෂණ ඔප්පුහිමියාගේ සහකරුර/සහකාරිය සහ දරුවන් වෙනුවෙන්ද ආවරණයක් ලබාගැනීම වැනි අමතර ප‍්‍රතිලාභ එකතුකර ගැනීමේ අවස්ථාවද සමාගම විසින් ලබාදී තිබේ.

මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට පමණක් සමාගම විසින් ලබාදෙන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව, සහ වාර්ෂික ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගීවීමේ අවස්ථාව වැනි විශේෂ ප‍්‍රතිලාභ හිමිකර ගැනීමේ අවස්ථාවද ෆියුචර් සේවර් රක්ෂණ ඔප්පුහිමියන්ට සමාගම විසින් ප‍්‍රදානය කර ඇත.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව