සෙලින්කෝ ලයිෆ්, කිංග්ස් රෝහලේ කොටස්වල ආයෝජනය කරයි

Acquisition of equity in Kings Hospital1 (LBN Fill)

 



 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පුද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප‍්‍රමාණයක ආයෝජනය කරමින් ආකර්ශනීය ව්‍යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණ තිබේ. මෙම අයෝජනයත් සමග සමාගම සතු සෞඛ්‍ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කළඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි.

ඇඳන් 120 කින් සමන්විත මෙම රෝහලේ කොටස් මිලදී ගනිමින් සිදුකළ මෙම උපායමාර්ගික ආයෝජනය ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවදුරටත් පුළුල් කිරීමට අවකාශය තිබෙන බව සමාගම පවසයි.

මෙම ආයෝජනයත් සමග කිංග්ස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමාගම සතු කොටස් ප‍්‍රමාණය අනුව සෙලින්කෝ ලයිෆ් සාමාජිකයින් ඉදිරියේදී පත්කරන අතර ඔවුන් විසින් මෙම රෝහලේ ඉදිරි අදියරේ වර්ධනය උත්තේජනය කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සහ කිංග්ස් අතර ඇතිවී තිබෙන මෙම ව්‍යාපාරික ඒකාබද්ධතාවය තුළින් සියළුම පාර්ශවකරුවන්ගේ ප‍්‍රතිලාභ වර්ධනය වනු ඇති බව ද සෙලින්කෝ ලයිෆ් ප‍්‍රකාශ කරයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන අතර මේ වනවිටත් දේශීය සෞඛ්‍ය අංශයේ ප‍්‍රමුඛ සමාගමක් ලෙස කටයුතු කරයි. සමාගමට පූර්ණ වශයෙන් අයත් සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) පිළිකා සඳහා ප‍්‍රතිකාර කිරීමට ශ‍්‍රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළ අතර ලංකාවේ පළමු ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය සහ ටොමෝ තෙරපි ඒකකය ස්ථාපිත කරන ලදී. මේ වනවිටත් ශ‍්‍රී ලංකාවේ පවතින එකම ටෝමෝ තෙරපි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන්නේ මෙයයි. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් ගෝල්ඩන් කී ඇස් සහ උගුර, කන, නාසය පිළිබඳ රෝහලද කළමනාකරණය කරයි.

සමාගම අවතීර්ණ වී තිබෙන මෙම නවතම සංධිස්ථානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ගෝලීය වශයෙන් ජීවිත රක්ෂණ සහ සෞඛ්‍ය සේවා දායකයින් උපායමාර්ගික ඒකාබද්ධතාවයන්ට එක්වී ප‍්‍රතිලාභ වර්ධනය කර ගනිමින් සිටිනවා. මෙම උපායමාර්ගික ආයෝජනය මගින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් ඇතුළු සියළුම පාර්ශවකරුවන්ට අමතර වටිනාකමක් ලැබෙනවා.’

‘ඉතාමත් සාර්ථක ලෙස පිළිකා ප‍්‍රතිකාරය සඳහා යටිතල පහසුකම් සහ උපකරණ සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම තුළින් සෙලින්කෝ ලයිෆ් මෙම අංශයේ නායකයෙකු බවට පත්වී සිටිනවා. දැරිය හැකි මිලකට ප‍්‍රතිකාර කිරීමට සහ රෝග විනිශ්චය කරගැනීමට අපි ඉන්දියාවේ ඇපලෝ රෝහල ඇතුළු විවිධ සෞඛ්‍ය ආයතන සමග ශක්තිමත් බැඳීමක් පවත්වාගෙන යනවා. එම බැඳීම කිංග්ස් රෝහල සමග ඒකාබද්ධවීම තුළින් තවත් වර්ධනය වනවා,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා පැවසීය. ‘කිංග්ස් රෝහලේ කොටස්වල සෙලින්කෝ ලයිෆ් ආයෝජනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය අංශයේ සමාගමේ දායකත්වය වැඩිකර ගනිමින් මෙරට ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමට සමාගම සතු විශාල බලාපොරොත්තුව සහ සමාගමේ ආයෝජන උපායමාර්ගයයි.’

මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කිංග්ස් රෝහලේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ රෝහලේ ප‍්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම පැමිණීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. අපගේ ඊළඟ අදියරේ සංවර්ධනය වෙනුවෙන් සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායම සමග ඉතාමත් සමීපව අපි කටයුතු කරනවා. රටට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වටිනාකමට සරිලන පවුල සහ ප‍්‍රජාව මූලික කරගත් සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණෙන් කිංග්ස් රෝහල ආරම්භ කරනු ලැබුවා. සෙලින්කෝ ලයිෆ් සමාගමද ප‍්‍රජාව මූලික කරගත් සෞඛ්‍ය වැඩසටහන් සඳහා විශාල වශයෙන් කැපවී තිබෙන නිසා අපගේ ආයතන දෙක අතර ඉතාමත් හොඳ උපායමාර්ගික ගැලපීමක් තිබෙන බව අපි විශ්වාස කරනවා.’

‘සෙලින්කෝ ලයිෆ් සමාගම සතු ඉහළ පළපුරුද්ද සහ විශේෂඥතාවය තුළින් ප‍්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ තුළින් අපගේ හැකියාවන් අලෙවිකරණය කරමින් ශක්තිමත් සන්නාමයක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මිලියනයකට වඩා ජනතාවට ජීවිත රක්ෂණ පහසුකම් සලසා තිබෙනවා. මොවුන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින් අවශ්‍ය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට මේ තුළින් අපේ රෝහලට අවස්ථාවක් හිමිවෙනවා.’

කොළඹ නාරාහේන්පිට පිහිටි අති නවීන පහසුකම් වලින් සමන්විත කිංග්ස් රෝහල කීර්තිමත් වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළත් වන ව්‍යාපාරික සන්ධානයකින් ආරම්භ කළ අතර මෙරට කීර්තිමත් වෛද්‍ය විශේෂඥයින්, රෝහල ආරම්භ කළ වෛද්‍යවරුන් සහ පුහුණු හෙද කණ්ඩායමක් මෙහිදී ජනතාවට සේවය ලබාදෙයි. 2017 මාර්තු මාසයේදී Oasis රෝහල මිලදීගනිමින් මෙම රෝහල ආරම්භ කළ අතර මෙම රෝහල් ගොඩනැගිල්ල රෝහලක් සඳහාම වන අති නවීන පහසුකම් වලින් යුක්තව ඉදිකර තිබේ. 2019 අගෝස්තු මාසයේදී මහජනතාව වෙනුවෙන් විවෘත කළ මෙම රෝහලෙහි මොඩියුලර් ශල්‍යාගාර 11 ක් පිහිටා තිබෙන අතර මෙය මේ වනවිට ශ‍්‍රි ලංකාවේ පිහිටි විශාලතම ශල්‍ය පහසුකම් වලින් එකකි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව