සූපශාස්ත්‍රයේ විශිෂ්ටයන් අභිෂේක කරමින් P&S ‘Golden Doily’ තරගාවලිය නිමාව දකී.

Image 2 (1) (LBN)

ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම [Perera & Sons Bakers Private Limited (P&S)] සංවිධානය කළ අන්තර්-දෙපාර්තමේන්තු ‘Golden Doily’ සූපශාස්ත්‍ර තරගාවලිය පසුගියදා රාජගිරිය Birds Park හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. තරගකාරී ඉසව්වක් ලෙස පැවැත්වුණද එය සමාගමේ සාමාජික සාමාජිකාවන් අතර සුහදත්වය වර්ධනය කළ තරගාවලියක් විය.
 



 

මෙහිදී සමාගමේ විවිධ අංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කළ තරගකරුවන් හා තරගකාරියන් 208 දෙනෙක් කණ්ඩායම් 27 ක් යටතේ තරග වැදුණහ. තරග කාණ්ඩ 15 ක් යටතේ පැවැත්වුණු මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට විධායක සූපවේදී කල්ප පෙරේරා, පේස්ට්‍රි සූපවේදී මොහාන් අමිත්, විධායක සූස් සූපවේදී එරික් විජේමාන්න, නන්දිතා ගමගේ, නදී ධර්මසේන, චානුක පියසිරි, වෛද්‍ය හිරුධි බණ්ඩාර සහ ජනිත් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. ඔවුන් විසින් අතිශය විධිමත් ක්‍රියාපටිපාටියක් අනුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගන්නා ලදි.

මෙහිදී අදහස් දැක්වූ පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා පැවසුවේ, ආයතනයේ සේවය කරන විශිෂ්ට සූපශාස්ත්‍ර කුසලතා සහිත දක්ෂයන් ඇගයීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කළ බවයි. මෙය පෙරේරා ඇන්ඩ් සන්ස් කාර්ය මණ්ඩලය අතර සුහදත්වය වර්ධනය කරන අතරම ඔවුන්ට තම වෘත්තීය ජීවිතයේ දියුණුව සඳහා අතිශය වැදගත් වන අත්දැකීම් රැසක් තිළිණ කළ ඉසව්වක්ද වූ බව ඒ මහතා පැවසී ය.

තරගය අවසානයේදී පදක්කම් හා ත්‍යාග ප්‍රදානෝත්සවයක්ද පැවැත්විණි. තරගයේ සමස්ත ජයග්‍රහණය හිමිකර ගනිමින් රන් පදක්කම දිනාගන්නා ලද්දේ Catering Kitchen කණ්ඩායම විසිනි. මාතර කණ්ඩායමට එහි රිදී පදක්කම හිමි වූ අතර, Main Kitchen and QA (තත්ව සහතිකකරණ) කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය.

1902 වසරේදී ආරම්භ වූ පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් 216 කට වැඩි සංඛ්‍යාවක් විවෘත කර තිබේ. ප්‍රණීත ආහාරපාන සහනදායී මිලගණන් යටතේ පාරිභෝගිකයන් වෙත සැපයීම සමාගමේ ප්‍රධානතම අරමුණයි. තම කාර්ය මණ්ඩලයේ සේවය කරන දක්ෂයන්ට තම කුසලතා කරළියට රැගෙන ඒමට අවස්ථාව ලබාදෙන අතරම නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සූපශාස්ත්‍ර තරග සංවිධානය කිරීම පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම දීර්ඝ කාලයක පටන් සිදුකර තිබේ. ‘Golden Doily’ සූපශාස්ත්‍ර තරගාවලිය මෙම සම්ප්‍රදායෙහිම කොටසක් වන අතර, එය සමාගමේ කාර්ය මණ්ඩලය තුළ සුහදත්වය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කරන අතරම උසස් ප්‍රමිතිය වෙනුවෙන් සමාගම දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමටද මහඟු දායකත්වයක් ලබා දී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව