සිසිලියන් තේ කර්මාන්තශාලාව 2023දී කොළඹ තේ වෙන්දේසියේ ඉහළම අලෙවිය වාර්තා කරයි

Ceciliyan (LBN)

 



 

 

2023 වසරේදී කොළඹ තේ වෙන්දේසියේදී කළු තේ කිලෝ මිලියන 3.8 ක් අලෙවි කරමින් එම වසරේදී ඉහළම අලෙවිය වාර්තා කිරීමට සිසිලියන් තේ කර්මාන්තශාලාව සමත් විය. එය 2023 වසරේ රටේ සමස්ථ තේ නිෂ්පාදනයෙන් 1.5%ක ප්‍රමාණයක් වීම සහ තනි කර්මාන්තශාලාවක් විසින් නිපදවනු ලැබීම සුවිශේෂත්වයකි. කුඩා තේ වතු හිමියන්ගේ විශ්වාසය දිනූ නවීන හා ආදර්ශ තේ කර්මාන්තශාලාවක් ලෙස පිළිගැනෙන සිසිලියන් තේ කර්මාන්තශාලාව රත්නපුර කලවාන ප්‍රදේශයේ පිහිටා ඇත. පහතරට කළු තේ නිෂ්පාදනයෙහි ප්‍රමුඛයෙකු වන 1930දී ඇරැඹු සිසිලියන් තේ කර්මාන්තශාලාව සාම්ප්‍රදායික සහ සීටීසී යන තේ දෙවර්ගයම නිෂ්පාදනය කරයි.

10,500කට අධික කුඩා තේ වතු හිමියන්ගෙන් අමු තේ දළු මිල දී ගෙන, පසුගිය දශකය පුරා තේ කිලෝ මිලියන 3කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවූ සිසිලියන් තේ කර්මාන්තශාලාවේ 2023 වසරේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 3.8ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම තේ කිලෝවකට ඉහළ අලෙවි අගයක් ලබමින් කුඩා තේ වතු හිමියන්ටද ඉහළ මිලක් හිමි කර දීම විශේෂත්වයකි. 600කට අධික පිරිසකට රැකියා සපයමින් ISO 22000:2018, 14001:2015 ප්‍රමිති සහතික ලබා ඇති සිසිලියන් තේ කර්මාන්තශාලාව 2017 සබරගමුව විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය, 2018 තේ අපනයනකරුවන්ගේ සම්මාන උළෙලේදී සබරගමුව පළාතේ ජයග්‍රාහකයාට හිමි සම්මානය, 2019 සබරගමුව විශිෂ්ටම ව්‍යවසායක රන් සම්මානය, 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ඇත. “මේ වාර්තාගත අලෙවිය සිදු කරන්න John Keells, Mercantile, Forbes & Walkers වැනි බ්‍රෝකර් සමාගම් සමග අපි කටයුතු කළා. අපේ කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමත් කුඩා තේ වතු හිමියන්ගේ හා දළු සැපැයුම්කරුවන්ගේ සහයෝගයත් මේ සාර්ථකත්වයට ශක්තියක් වුණා. ඔවුන් සැමට ස්තූතිය පිරිනමන අතර සම්ප්‍රදායට මුල් තැන දෙමින්, නවීන තාක්ෂණය භාවිතා කරමින්, ගුණාත්මක බවින් ඉහළ තේ නිෂ්පාදනය තුළින් ජාතික ආර්ථිකයට ඉහළ ශක්තියක් සපයන්න අපි නිරන්තරයෙන් කැප වෙනවා.” සිසිලියන් තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී මින්දික වල්ගමගේ මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව