ස්ටාර් ගාමන්ට්ස් සමූහය, SLITAD ජනතා සම්මාන උලෙළේදී රන් සම්මානයකින් පිදුම් ලබයි

1- Star Garments Gold Award (LBN)

පසුගියදා පැවැති SLITAD ජනතා සංවර්ධන සම්මාන උලෙළේදී (2023/24) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උසස් මට්ටමේ මානව සම්පත් කළමනාකරණ භාවිතාවන් අනුගමනය කිරීම වෙනුවෙන් විශේෂ රන් සම්මානයකින් පිදුම් ලැබීමට ස්ටාර් ගාමන්ට්ස් සමූහය සමත්විය.

 



 

ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය විසින් පස්වැනි වරට සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළ ඉකුත් අගෝස්තු 4 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. තම සේවක ප්‍රජාවට මෙන්ම පොදුවේ රට තුළ ද යහපත් මානව සම්පත් කළමනාකරණ භාවිතාවන්හි නියැළි ආයතන ඇගයීම මෙම සම්මාන උලෙළෙහි අරමුණ විය.

″ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතු නිර්මාණශීලිත්වය, සහයෝගීතාව සහ මානව සම්පත් සංවර්ධනය දිරිගන්වන ආයතනික සංස්කෘතියට ලැබුණු වටිනා ඇගයුමක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකියි. ඒ වගේම, එය සමාගමේ පරිවර්තනීය වර්ධනය සහ නවෝත්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරන අපගේ කාර්යමණ්ඩලයට ලැබුණු ඇගයීමක්″, යනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් මහතා ප්‍රකාශ කළේය.

මෙම සම්මාන උලෙළ සඳහා සහභාගී වූ පළමු අවස්ථාවේදීම මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම ස්ටාර් ගාමන්ට්ස් සමූහය ලද තවත් ජයග්‍රහණයකි. මීට පෙර ද Great Place to Work ශ්‍රේණිගත කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයට සුදුසුම ස්ථානයක් (Best Workplaces™) ලෙස ද ස්ටාර් ගාමන්ට්ස් නම් කර තිබේ.

ඇඟලුම් අමුද්‍රව්‍ය සපයාගැනීම, නිර්මාණකරණය සහ නිෂ්පාදනය යන සෑම අංශයකින්ම ගෝලීය මට්ටමේ භාවිතාවක් සහිත ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතුව 10,000කට වැඩි සේවක පිරිසක් සිටී. නවෝත්පාදනය සහ තිරසරත්වය කෙරෙහි වැඩි අවධානයක් ලබාදෙන මෙම සේවක පිරිස හරහා ද ආයතනය තුළ නවමු සහ ගුණාත්මක අදහස් ගලාඒම කැපීපෙනේ.

සිය පාරිසරික, සමාජ සහ පාලන (ESG) ක්‍රමෝපායට අනුව සමාගම තම සේවකයින් ආශ්‍රිතව උසස් නියාමන ප්‍රමිතීන් අනුගමනය කරන අතරම සමාජය සහ ප්‍රජාව වෙත ප්‍රතිලාභ සැලසීම වෙනුවෙන් ද අඛණ්ඩව කටයුතු කරයි.

දශක හතරකට වැඩි අත්දැකීම්වලින් හෙබි Star Garments සමූහය යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළ ප්‍රමුඛයෙක් වන අතර, තිරසර ව්‍යාපාර මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ කීර්තියක් ද උසුළයි. සමාගම සතු LEED සහතිකලත් ඇඟලුම් කම්හල් අට අතර ලොව ප්‍රථම passive house factory ගොඩනැගිල්ල ද වේ. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ අමෙරිකානු ඩොලර් මිලියන 15ක අරමුදල් සම්පාදනයක් සමඟින් ටෝගෝ රාජ්‍යය හරහා බටහිර අප්‍රිකානු කලාපය තුළ ද තම ව්‍යාපාර මෙහෙයුම් ඇරඹූ ස්ටාර් ගාමන්ට්ස් සමූහය ඒ හරහා එම කලාපය තුළ ඍජු සහ වක්‍ර රැකියා 4,520ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව