ස්ටාර් ගාමන්ට්ස් නවෝත්පාදන මධ්‍යස්ථානය බලශක්ති කාර්යක්ෂමතා රිදී සම්මානයෙන් පිදුම් ලබයි

1- Star award receiving

ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කටුනායක පිහිටි නවෝත්පාදන මධ්‍යස්ථානය, පසුගියදා පවත්වන ලද තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත මුලපිරීම පිළිබඳ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, කර්මාන්ත බලශක්ති කාර්යක්ෂමතා අංශයේ රිදී සම්මානයක් හිමිකරගැනීමට සමත්විය. ‘Passive house’ සංකල්පය යටතේ ඉදිකළ ලොව ප්‍රථම කර්මාන්තශාලා ගොඩනැගිල්ල ද වන එය දකුණු ආසියාවේ ප්‍රථම ‘Passive house’ සැලසුම මෙන්ම LEED V4 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු LEED Platinum ගොඩනැගිල්ල ද වේ.

 


 

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන ජූනි 20, 21 සහ 23 යන දිනවල කොළඹ BMICH හි පැවැත්වුණී.

කර්මාන්ත අංශය යනු සුවිශේෂී බලශක්ති පාරිභෝගිකයෙකි. එවන් පසුබිමක, පැරණි ගොඩනැගිල්ලක් passive house නිර්මාණ සංකල්පය යටතේ නවීකරණය කිරීම තුළින් එහි බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමටත්, පාරිසරික බලපෑම අවම කිරීමටත් ස්ටාර් ගාමන්ට්ස් සමූහයට හැකිවිය. ඒ හරහා නවෝත්පාදන මධ්‍යස්ථානයේ  ප්‍රමාණය සමාන නවීන ගොඩනැගිල්ලකට සාපේක්ෂව බලශක්ති පරිභෝජනය සියයට 70ක් දක්වා අවම කිරීමටත්, වර්ග මීටරයකට වැය කරන වාර්ෂික කිලෝ වොට් ධාරිතාව ශූන්‍ය කිරීමටත් අවස්ථාව උදාවිය. එහි ප්‍රතිඵලයක් ලෙස හරිතාගාර වායු විමෝචනය මෙන්ම මෙහෙයුම් පිරිවැය ද දැවැන්ත ලෙස අඩුවිය. ඒ අතරතුර ගොඩනැගිල්ලේ ඇතුළත පාරිසරික ගුණාත්මකබව වර්ධනය වීම, සේවක ඵලදායීතාව ඉහළ යාම සහ සේවා සෞඛ්‍ය මට්ටම ඉහළ යාම ආදී අතුරු ප්‍රතිලාභ ගණනාවක් ද උදාවිය.

මෙම passive house නිර්මාණ සංකල්පය තුළින් අපේක්ෂා කරන්නේ ඉහළ වායු සංසරණයක්, වායු ඝනත්වයක්, උෂ්ණත්ව යළි භාවිතකිරීම තුළින් බලශක්ති වැයවීම අඩුකරගැනීම ආදී ලෙස විශේෂයෙන්ම නිවර්තන දේශගුණික තත්ත්වයන්ට උචිත අයුරින් ගොඩනැගිලි නිර්මාණය කිරීම වේ. 2020 වසරේ පැවැති AIA New York’s වාර්ෂික Design Awards හිදී ස්ටාර් ගාමන්ට්ස් නවෝත්පාදන මධ්‍යස්ථානයට තිරසරභාවය වෙනුවෙන් කුසලතා සම්මානයක් ද 2021 Passive House ජාත්‍යන්තර සම්මානය ද හිමිවීම කැපීපෙනේ.

2017 වසරේදී නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටුවීමෙන් අනතුරුව ස්ටාර් ගාමන්ස්ට් සමූහය තිරසරභාවය වෙනුවෙන් සිය ආයෝජනය තවත් වැඩිකර තිබේ. මේ වනවිට සමූහය සතු ඇඟලුම් කර්මාන්තශාලා අතුරින් අටක් LEED සහතිකය ලබාගෙන තිබේ. ඉන් දෙකක් platinum මට්ටමත්, හතරක් gold මට්ටම සහ සෙසු කර්මාන්තශාලා දෙක silver මට්ටමත් ලබාගැනීම කැපීපෙනේ. දේශගුණික විපර්යාස මැඬපැවැත්වවීම වෙනුවෙන් සිය අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරන ස්ටාර් ගාමන්ට්ස්, විද්‍යා පාදක ඉලක්ක මුලපිරුම (Science Based Targets initiative – SBTi) වෙත ද සිය දායකත්වය ලබාදෙන අතර, ගෙවුණු වසර 5 පුුරාවටම සිය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ කාබන් ශූන්‍යතාව අත්කරගෙන සිටියි. මෙගාවොට් 4.9ක සූර්ය පැනල භාවිතය සහ ජෛව ඉන්ධන බොයිලේරුවක් පිහිටුවීම තුළින් ද සිය කාබන් විමෝචනය අවම කිරීමට ස්ටාර් ගාමන්ට්ස් සමූහයට හැකිවී තිබේ.

ලෝක සම්පත් ආයතනයට (World Resources Institute) අනුව ශ්‍රී ලංකාව යනු ජල හිඟයට මුහුණපෑමේ අවදානම ඇති රටකි. මෙම තත්ත්වය යටතේ අපජල පිරිපහදු කිරීම සහ වැසි ජල කළමනාකරණය තුළින් වාර්ෂිකව ජලය ලීටර් මිලියන 54කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂා කරගැනීමට ද සමූහය සමත්ව සිටියි.

දශක හතරකට වැඩි අත්දැකීම්වලින් හෙබි Star Garments සමූහය යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළ ප්‍රමුඛයෙක් වන අතර, 9,000කට වැඩි පිරිසක් එහි ඇඟලුම් කර්මාන්තශාලා තුළ සේවය කරති. ගෝලීය මට්ටමේ ඇඟලුම් සැපයුම, නිර්මාණකරණය සහ නිෂ්පාදනය සිදුකරන Star Garments ශ්‍රී ලංකාව තුළ වඩාත් නව්‍ය සහ තිරසර ඇඟලුම් නිෂ්පාදන සමාගමක් ලෙස ද කීර්තියක් උසුළයි. මෙම ජයග්‍රහණය තුළින් තිරසරභාවය වෙනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ ප්‍රමුඛ භූමිකාව මෙන්ම පරිසරය, සමාජය සහ පාලනය (ESG) යන ත්‍රිවිධ අංශ කෙරෙහි සමූහයේ කැපවීම ද මැනවින් පිළිබිඹු වේ.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව