සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට GABV සාමාජිකත්වය හිමි වේ

Chairman Channa De Silva (1) (LBN)

එහි වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත් සැලසුම්

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා ‘වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ’ [Global Alliance for Banking on Values (GABV)] පූර්ණ සාමාජිකත්වය හිමිකර ගැනීමට සමත් විය. මෙය තිරසාර මූල්‍ය සේවාවන් ඔස්සේ සැමට මූල්‍ය පහසුකම් හිමි කර දීම සඳහා සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.

මෙම සාමාජිකත්වය මගින්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙරට තුළ සමාජයීය හා පාරිසරික වශයෙන් සිදුකරන මෙහෙවර තවදුරටත් ශක්තිමත් වරනු ඇත. මෙමගින් ආචාරධාර්මික මූල්‍ය පහසුකම් සහ ප්‍රජා මූලික සංවර්ධන වැඩසටහන් දිරිගැන්වීමටත්, පරිසර හිතකාමී ණය දීම් ප්‍රවර්ධනය කිරීමටත් සමාගමට අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙය සමාන අරමුණු සහිත ගෝලීය සමාගම් හා ආයතන සමග සම්බන්ධ වෙමින් දැනුම හුවමාරු කරගැනීමටත්, ඒ ඔස්සේ ලොව විවිධ රටවල මීට සමාන සන්දර්භයන් තුළ සාර්ථක වූ ප්‍රවේශයන් භාවිතයට ගැනීමටත් ලැබෙන මහඟු අවස්ථාවකි. තවද එමගින් තිරසාර මූල්‍යකරණය සම්බන්ධ ජාත්‍යන්තර සම්මතයන්ට වඩාත් හොඳින් අනුගත වීමටත්, මෙබඳු සාධනීය ප්‍රයත්නයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානමින් සිටින ආයෝජකයන් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, වෙනස් වන ප්‍රතිපත්ති හා නියාමන ප්‍රවණතා පිළිබඳව වඩාත් හොඳින් දැනුවත් වීමටත් හැකියාව ලැබේ.

 



 

මෙම සාමාජිකත්වයෙහි කොටසක් වශයෙන් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය සහ එහි වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2025 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට කටයුතු යොදනු ඇත. කලාපය තුළ වටිනාකම් පදනම් කරගත් බැංකුකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 12 කට අධික සංඛ්‍යාවක ප්‍රධාන විධායක නිලධාරීන් මෙම වැඩසටහන්වලට සහභාගී වනු ඇතැයි  අපේක්ෂා කෙරේ.

මීට ඉහත වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 17 වන වාර්ෂික හමුව ‘ඔරොත්තු දීමේ හැකියාව සහිත අනාගතයන් නිර්මාණය කිරීම’ යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි. එම අවස්ථාවට රටවල් 45 ක පමණ සාමාජික බැංකු 70 කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ සහභාගී වූහ. දේශගුණික විපර්යාස, ආර්ථික අසමානතාව සහ ඩිජිටල් පරිවර්තනය යනාදී ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා වටිනාකම් පදනම් කරගත් බැංකුකරණයට ඇති හැකියාව කෙබඳුද යන්න එහිදී සාකච්ඡා කරන ලදි. සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නියෝජනය කරමින් එහි සභාපති චන්න ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති චන්න ද සිල්වා මහතා පැවසුවේ, වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ සාමාජිකත්වය හිමි වීම මගින් විනිවිදභාවය, වගවීම සහ සැබෑ යහපත් බලපෑමක් ඇතිකිරීම පදනම් කරගත් ආචාරධාර්මික මූල්‍යකරණය සඳහා සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු වන බවයි. සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම දශක ගණනාවක් පුරා ග්‍රාමීය ආර්ථිකයන් ශක්තිමත් කරමින්, මෙරට විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමට උත්සාහ දරා තිබේ. මෙබඳු වටිනාකම් මත විශ්වාසය තබන ගෝලීය ජාලයක සාමාජිකත්වය හිමි වීම මගින් මෙම මෙහෙවර නව දැක්මක් මෙන්ම නව සම්පත් හා හවුල්කාරීත්වයන් ඔස්සේ වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇත. එමෙන්ම එය තිරසාර හා අන්තර්කරණය වූ බැංකුකරණය පිළිබඳ ගෝලීය සංවාදවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන මහඟු අවස්ථාවක් බවද චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සමාගෙම් ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැවසුවේ, අර්බුදවලින් අනතුරුව රටේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින පසුබිමක් තුළ, රටේ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන තම මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කරමින් සිටි අවස්ථාවක මෙම සාමාජිකත්වය හිමි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ සාමාජිකත්වය යනු, ප්‍රජා-මූලික මූල්‍ය සේවාවන් පිරිනැමීම සහ ලාභ ලැබීමෙන් ඔබ්බට ගොස් වටිනාකම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විශ්වාසය තබන ගෝලීය වේදිකාවකට පිවිසීම සඳහා හිමි වන සුවිශේෂී අවස්ථාවකි. ඉදිරියේදී තමන්ට සමාන ආකල්ප දරන සමාගම් හා ආයතන සමග එක්ව කටයුතු කරමින් වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමටත්, දේශීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීමටත්, ඒ සියල්ල ඔස්සේ ස්ථාවර හා දීර්ඝකාලීන සමාජ සංවර්ධනයක් ඇතිකිරීමටත් තමන් බලාපොරොත්තු වන බව නිලන්ත ජයනෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව