ශ‍්‍රී ලංකා පොලීසියට සහ ටයර් වෙළෙඳ නියෝජිතයින්ට තවත් ප‍්‍රදානයක් කරමින් සියැට් කොවිඞ්-19 සටනට යළිත් සහයෝගය දෙයි

ceat2 (1)
  • අත්වැසුම් 100,000 ක්, හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 5000 ක් සහ නැවත භාවිතාකළ හැකි මුව ආවරණ 5,000 ක් පරිත්‍යාග කරයි

කොවිඞ්-19 වසංගතයට එරෙහිව ගෙන යන සටනට තවදුරටත් සහයෝගය දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා පොලීසියට සහ දිවයින පුරා පිහිටි සියැට් ටයර් වෙළෙඳ නියෝජිතයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිත අසුරණ 1000 ක් පසුගියදා බෙදාදෙන ලදී.

මෙම සෑම අසුරණයකම භාවිතා කිරීමෙන් පසුව ඉවතලන අත් වැසුම් 100 ක්, නැවත නැවතත් භාවිතා කළ හැකි මුව ආවරණ 05 ක් සහ හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 05 ක් ඇතුළත් වන අතර සියැට් සමාගමේ නාමයද ඇතුළත් කරමින් මෙම භාණ්ඩ සමාගම වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබේ. පොලිස් නිළධාරීන්ට බෙදාදීමට මෙම අසුරණ 450 ක් සමාගම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාට භාරදුන් අතර ඉතිරි අසුරණ 550 ගනුදෙනුකරුවන් සමග කෙලින්ම කටයුතු කරන දිවයින පුරා පිහිටි සියැට් වෙළෙඳ නියෝජිතයින් වෙත ප‍්‍රදානය කරන ලදී.

මීට අමතරව, සියැට් වෙළෙඳ නියෝජිත ආයතනවල සමාජ දුරස්ථභාවය රැකීම සඳහා අවශ්‍ය වන පොලොවේ අලවන විශේෂයෙන්ම නිර්මාණය කළ ස්ටිකර්ද සියැට් කැළණි විසින් දිවයින පුරා පිහිටි සියැට් වෙළෙඳ නියෝජිතයින්ට බෙදාදී ඇත.

 




 

 

‘ශ‍්‍රී ලංකාව තුල මෙම ගෝලීය වසංගත තත්ත්වය සාර්ථක ලෙස මැඩ පැවැත්වීම සඳහා අඛණ්ඩව ආරක්ෂිත ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවි ඩඞ්ලානි මහතා පැවසීය. ‘මේ සඳහා පහසුකම් සැලසීමට ආයතනය විසින් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කළ යුතු බව අපගේ විශ්වාසයයි. අපගේ මෙහෙයුම් ක‍්‍රියාවලියේ ආරක්ෂාව තහවුරු කිරීමට නිර්දේශිත සියළුම ආරක්ෂිත ක‍්‍රියාමාර්ග ගන්නා අතරම මෙම වසංගතය සමග පෙරමුණේ කටයුතු කරන ශ‍්‍රී ලංකා පොලීසිය, අපගේ ටයර් අලෙවි නියෝජිතයින් වැනි පාර්ශවයන් සහ ඔවුන් සමග සම්බන්ධ වන අයගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීම අපගේ වගකීමක් ලෙසින්ද අපි සලකනවා.’

කොවිඞ්-19 ට එරෙහි සටනේ පෙරමුණේ කටයුතු කරන ජාතික බෝවන රෝග විද්‍යායතනය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ එහි පශ්චාත් වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානය, රිජ්වේ ආර්යා ළමා රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල සහ ශ‍්‍රී ලංකා පොලීසිය යන ජාතික ආයතන වලට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මීට පෙර රුපියල් මිලියන 10 කට වඩා වැඩි වටිනාකමක් සහිත උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගයට අමතරව සියැට් කැළණි සමාගම විසින් මහනුවර පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ඇඳන් 106 කින් යුතු යුධ හමුදා රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 02 ක ආධාර මුදලක් ලබාදී තිබේ.

මේ අතර, සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා සහ ප‍්‍රධාන වෙළෙඳ ස්ථාන හා සබැඳි ලොරි රථ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට පුද්ගලික ආරක්ෂිත සහ පිරිසිදුකාරක කට්ටල ලබාදීමේ වැඩසටහනක් මෙන්ම රටපුරා පිහිටි සමාගමේ වෙළඳ නියෝජිතයින්ගේ කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ට සහය දැක්වීමට වැඩසටහනක් දියත් කළේය. මේ අනුව, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සහයෝගය ලබාදෙමින් කොළඹ දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංගම බස්රථ 350 ක් සඳහා එහි ගමන් කරන මගීන්ගේ ප‍්‍රයෝජනය වෙනුවෙන් අත් සේදුම් කාරක ලබාදීමට සමාගම කටයුතු කරන ලදී. සියැට් විසින් මාස තුනක කාලයක් පුරා මෙම බස්රථ වලට අත් සේදුම් කාරක දියර පරිත්‍යාග කරන අතර මෙම බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා මාස තුනක කාලයක් පුද්ගලික ආරක්ෂිත කට්ටල ලබාදීමටද සමාගම කටයුතු කර ඇත. මෙම ආරක්ෂිත කට්ටලයක මුහුණු ආවරණ 06 ක්, අත් වැසුම් කට්ටල 06 ක් සහ පුද්ගලික අත් සේදුම්කාරක ඒකකයක් ඇතුළත් වේ.

මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම 2018 ජනවාරි මාසයේදී නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 03 ක ආයෝජනයක් සමඟ මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව