ශ්‍රී ලාංකික සිසුන් Microsoft Imagine Cup 2023 ආසියානු අවසන් වටයේ තරඟ වදිති

Team Sipsara (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ කණ්ඩායම් Microsoft Imagine Cup 2023 තරගාවලියේ අවසන් වටයට (ආසියාව) සුදුසුකම් ලැබීමට පසුගියදා සමත් විය. තාක්ෂණය භාවිතා කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන විසඳුම් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදීම Microsoft Imagine Cup තරගාවලියේ අරමුණ වේ. මෙම තරගාවලිය, සිසු සිසුවියන්ට තම ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කරගැනීමටත්, දේශීය හා ජාත්‍යන්තර ගැටලු සඳහා ඵලදායී විසඳුම් නිර්මාණය කිරීමටත් අවස්ථාව සලසා දෙන සුවිශේෂී තරගාවලියකි. ඉහත සඳහන් ශ්‍රී ලාංකික කණඩායම් දෙක ඇතුළුව, ලොව කලාප තුනක් නියෝජනය කරන කණ්ඩායම් 48ක් Microsoft Imagine Cup 2023 කලාපීය අවසන් තරගාවලියට සුදුසුකම් ලැබූහ.

‘Education’ කාණ්ඩය යටතේ තරග වැදුණු, Sri Lanka Institute of Information Technology (SLIIT) විශ්වවිද්‍යාලය නියෝජනය කළ ‘Team Sipsara’ කණ්ඩායම, ඩවුන්සින්ඩ්‍රෝම් සහිත දරුවන් වෙනුවෙන් විද්‍යුත්-අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත යෙදුමක් ඉදිරිපත් කර තිබිණි. අන්තර්ජාලය පදනම් කරගත් මෙහි ප්‍රථම යෙදවුම නිර්මාණය කිරීම සඳහා Artificial Neural Networks සහ Machine Learning වැනි තාක්ෂණයන් භාවිතා කර තිබූ අතර, එමගින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ ක්‍රමික සංවර්ධනය මැන බැලීම හා කුසලතා නිරීක්ෂණය සඳහා විශ්වාසදායක සහ කාර්යක්ෂම ප්‍රවේශයක් නිර්මාණය කිරීම සිදුකරයි.

SLIIT විශ්වවිද්‍යාලය නියෝජනය කරන The Green Tycoon විසින් ‘Earth’ කාණ්ඩය යටතේ තරගයට ‘CarboMeter’ නම් නිර්මාණය ඉදිරිපත් කර තිබිණි. එය නවීන තාක්‍ෂණයන් භාවිතයෙන් නිර්මාණය වූ, ජංගම දුරකථන පාදක කරගත්, නව්‍ය, සජීවී විමෝචන කළමනාකරණ පද්ධතියක් ඔස්සේ ‘Carbon Accounting’ සරල කරන ව්‍යාපෘතියකි. මෙමගින් සමාගම් හා ආයතනවලට සිය කාබන් විමෝචනය නිරීක්ෂණය කරමින් සහ එය අවම කරගනිමින්, කාබන් බදු අවම කරගැනීමට සහ වඩාත් පරිසර හිතකාමී ලෙස තම ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබේ.

“අග්නිදිග ආසියාතික නව වෙළෙඳපොල කලාපයේ දක්ෂ සිසු සිසුවියන් තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් අර්ථවත් නිර්මාණ සිදුකිරීම සඳහා මෙම තරගාවලිය භාවිතා කරනු දැකීම සතුටට කරුණක්. සිසු සිසුවියන් සමග අදහස් හුවමාරු කරගැනීමේදී අපට පෙනී ගියේ, මෙම නවෝත්පාදන ඔවුන්ට පෞද්ගලික මට්ටමින් බෙහෙවින් සමීප කාරණා සමග බද්ධ වී පවතින බවයි.  අත්දැකීම් හා වඩාත් ප්‍රබල ලෙස සංවේදී වූ කාරණාවලින් පන්නරය ලබමින් ඒවාට විකල්ප ලෙස, ලෝකය වෙනස් කිරීමට උරදෙන විසඳුම් නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කරනු දැකීම සතුටක්.” Microsoft SEA NM සාමාන්‍යාධිකාරී Sook Hoon Cheah පැවසුවා ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, තරගයට සහභාගී වූ කණ්ඩායම්වල සිසු සිසුවියන් කියා සිටියේ, මේ ආකාරයට ජාත්‍යන්තර තරගාවලියක් ඔස්සේ තම තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් කෘතඥ වන බවයි.

මෙම කණ්ඩායම් දෙකේම සාමාජික සාමාජිකාවන් තම පෞද්ගලික අත්දැකීම්වලින් පන්නරය ලබමින්, ඒ අනුව තමන් නිර්මාණය කරන තාක්ෂණික විසඳුම කුමක්ද යන්න තීරණය කර ඇති බව, ඔවුන් වෙතින් අදහස් විමසීමේදී පෙනී ගියේ ය. උදාහරණයක් ලෙස, ඩවුන්සින්ඩ්‍රෝම් සහිත දරුවන්ට ගැළපෙන ආකාරයට විශේෂයෙන් සකස් කළ තාක්ෂණයක් නොමැති වීම නිසා, COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාවේදී එම දරුවන්ට අධ්‍යාපන කටයුතුවල නියැළීමට නොහැකි වීමේ සංවේදී ගැටලුව ‘Team Sipsara’ කණ්ඩායමේ අවධානයට යොමු වී තිබිණි. The Green Tycoon ව්‍යාපෘතිය සඳහා රටතුළ උද්ගත වූ බලශක්ති අර්බුධය වැනි ජාතික ගැටලුවලදීත්, කාබන් විමෝචනය වැනි බරපතළ ගෝලීය ගැටලුවලදීත් තිරසාර විකල්පයන්හි ඵලදායීතාව අවධාරණය වීම ප්‍රබල පිටුබලයක් වී තිබේ.

“Microsoft Imagine Cup 2023 හි කලාපීය අවසන් තරඟාවලියට ශ්‍රී ලාංකික කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීම මට මහත් සතුටක්. මෙම තරගාවලිය දියත් කරන සෑම අවස්ථාවකම අපට දැවැන්ත ප්‍රතිචාරයක් ලැබෙනවා. නවීන තාක්ෂණය පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමට සිසු සිසුවියන් මෙතරම් උනන්දුවක් දැක්වීම සතුටට කරුණක්. Team Sipsara සහ The Green Tycoon කණ්ඩායම්වලට සුබපතන අතරම, ඉදිරියේදී තවත් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම තරගයට සහභාගී වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා. මෙය ඔවුන්ට ක්ෂේත්‍රෙය් විශිෂ්ටතමයන් පිරිසක් සමග නවෝත්පාදනය සහ තාක්ෂණය අත්විඳීමට ලැබෙන අගනා අවස්ථාවක්.” ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Microsoft ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

මීට පෙරද ශ්‍රී ලාංකික සිසු සිසුවියන් Microsoft Imagine Cup අවසන් අදියරට පිවිසීමට සමත් වී තිබේ. 2022 වසරේ තරගාවලියේදී SLIIT විශ්විද්‍යාලයීය ‘Team Nana Shilpa’ කණ්ඩායම ආසියානු කලාපයේ ‘Health’ කාණ්ඩයේ ජය හිමිකරගත් අතර, ලෝක තරගාවලියේදී දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

2023 මැයි 23 දින පෙරවරු 8.30 (PDT) සිට Microsoft Build 2023 අතරතුර Microsoft Imagine Cup World Championships තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව